තඹුත්තේගම තැපැල් ස්ථානය බිඳ එහි සේප්පුවේ තිබූ රු. එක් ලක්ෂ දාහතර දහසකට වැඩි මුදලක් පෙරේදා (17) රාත්‍රියේ සොරාගෙන ගොස් ඇතැයි තඹුත්තේගම පොලිසිය පවසයි.
තඹුත්තේගම තැපැල් ස්ථානය, තඹුත්තේගම පොලිස් ස්ථානයට මීටර 300ක පමණ දුරින් පිහිටා ඇති අතර, ජනේලයක කූරූ කපා ඇතුළු වූ පුද්ගලයකු හෝ කණ්ඩායමක් විදුලි ග්‍රයින්ඩරයක් භාවිත කර සේප්පුව කපා මුදල් සොරා ගෙන ඇත.
මේ සේප්පුව තුළ අත්‍යවශ්‍ය ලිපි ලේඛන, දෛනික මුදල් හා මුද්දර තිබී ඇති අතර, රු. එක් ලක්ෂ දාහතර දහසකට වැඩි මුදල් පමණක් සොරාගෙන ගොස් ඇති අතර, එම සේප්පුවේ කවුළුවක තිබූ රු. දස ලක්ෂ හැත්තෑ පන්දහසක මුද්දර සොරාගෙන ගොස් නැති බවද අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි. සේප්පුව ස්ථාන තුනකින් ඇතුළට අත දැමිය හැකි පරිදි කවුළු තුනක් කපා සේප්පුව තුළ වූ මුදල් සොරා ගෙන ඇති බවද පොලිසිය පවසයි.
තඹුත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් හා අනුරාධපුර දිස්ත්‍රික් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්, ඇඟිලි සලකුණු පරීක්ෂණ නිලධාරීන් හා පොලිස් නිල සුනඛ සැන්ඩි යොදාගෙන පොලිස් නිල සුනඛ අංශය මඟින් පරීක්ෂණ සිදු කරනු ලැබීය.
තඹුත්තේගම තැපැල් ස්ථානයේ ස්ථානාධිපතිතුමිය කියා සිටියේ,
පෙරේදා (17) පස්වරු 3.00ට පමණ මුද්දර අලෙවිය, විදුලි බිල්, ජල බිල් ආදී ගෙවීම් මඟින් ලැබුණු මුදල් රු. දස ලක්ෂ හතළිස් දහසක් බැංකුගත කළ බවත් පස්වරු 3.00න් පසු ලැබුණු රු. එක් ලක්ෂ දාහතර දහස් පන්සියයකට ආසන්න මුදලක් සේප්පුව තුළ තිබූ බවත්, රු. දස ලක්ෂ හැත්තෑපන්දහසක් පමණ වටිනා මුද්දර සේප්පුව තුළ තිබූ බවත් මුද්දර සොරාගෙන නැති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැති අතර, තඹුත්තේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
අනුරාධපුර – තිසර සමල්, තඹුත්තේගම – සී.එම්. ආරියපාල