මධ්‍යම පරිසර අධිකාරිය
ගින්නෙන් විනාශයට පත් වූ හෝමාගම, කටුවාන කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්ත ශාලාව පරිසර බලපත්‍රයක් ගෙන නැති බව මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කරයි.
ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර මහතා ප්‍රකාශ කළේ, රසායනික කර්මාන්ත ශාලාව තුළ ඇති වූ ගින්නෙන් අහිතකර වායු සහ අපජලය එක් වීමෙන් අවට පරිසරයට හානි සිදුව ඇති බවයි. පසුගිය දෙසැම්බරයේ සිට ක්‍රියාත්මක වන මේ කර්මාන්ත ශාලාව සහ ගබඩා සඳහා නිසි බලපත් දීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් කර්මාන්ත පුරයේ පරිපාලනයද වගකිව යුතු බවද අජිත් වීරසුන්දර මහතා පෙන්වා දෙයි.
පෙරේදා (17) රාත්‍රී 8.00ට පමණ මේ කර්මාන්ත ශාලාවේ ගින්න හටගෙන තිබෙන අතර, පැය 4කට ආසන්න කාලයක් ගින්න පැවැති බවත්, පොලිසිය, යුද හමුදාව, ගිනි නිවන හමුදාව සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න සම්පූර්ණයෙන්ම මැඬ පැවැත්වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
තීන්ත නිෂ්පාදනාගාරයක් සහ රෙදිපිළි නිෂ්පාදනාගාරයක් මෙලෙස ගින්නට හසු වීමෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, ගින්න පාලනයට ගිනි නිවන භටයන්ට අමතරව යුද, ගුවන්, නාවික හමුදා සහ පොලිස් නිලධාරීන් 300කට ආසන්න පිරිසක් එක්ව තිබේ.
මේ ගින්නත් සමඟ පැය කිහිපයක් ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී තිබෙන අතර, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ පරිසර අංශයේ නිලධාරීන් මේ ස්ථානයට පැමිණ රසායන ද්‍රව්‍ය මිශ්‍ර විෂ වායු පරිසරයට බැහැර වී ඇත්දැයි පරීක්ෂා කර තිබෙන අතර, රසායනික ජීව විද්‍යා විකිරණශීලි න්‍යෂ්ටික ප්‍රතිචාර දැක්වීමේ රෙජිමේන්තු නිලධාරීන්ද ඒ ස්ථානයට පැමිණ ඇත.
මේ අතර පරිසර හානිය තක්සේරු කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ විශේෂඥ කණ්ඩායමක්ද එම ස්ථානයට ඊයේ (18) පෙරවරුවේ පැමිණ තිබෙන අතර, මේ ආයතනය සතු කර්මාන්ත තුනක් ඒ ස්ථානයේ පවතී. එක් ස්ථානයක් කර්මාන්ත ශාලාවක් ලෙසත් ගිනි ගැනීමට ලක් වූ ස්ථානය සහ තවත් ගොඩනැඟිල්ලක් ගබඩාවක් ලෙසත් පවත්වාගෙන යන බවද මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර මහතා කියා සිටී. ගිනි ගත් කර්මාන්ත ශාලාව ආශ්රිත ප්‍රදේශවලට නිකරුණේ ගමන් නොකරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. හෝමාගම අවට පදිංචිකරුවන් මුව ආවරණ පලඳින ලෙසට කොළඹ ආපදා කළමනාකරණ ඒකකය සහකාර අධ්යක්ෂවරයා විසින් විශේෂ දැනුම්දීමක් කර තිබෙන අතර හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ඇති වූ ගින්න හේතුවෙන් මතු විය හැකි ශ්වසන ආබාධ අවම කරගැනීම එයින් අපේක්ෂා කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ පරිසර අංශයේ අධ්යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා: “කෙමිකල් ගබඩා කළ ස්ථානයක ගින්නක් හටගෙන ඇති බවට වාර්තා වූ සැණින් අපේ නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට ආවා. ඊට හේතු වුණේ මේ විදියේ කෙමිකල් ගබඩා කළ ස්ථානයක ගින්නක් හට ගත්තාම නියත වශයෙන් වායු පරිසරයට බැහැර වෙනවා. එලෙස බැහැර වූ විෂ වායු අවට පරිසරයට අහිතකර මට්ටමක පවතිනවාද යන්න පරීක්ෂා කිරීමයි අපි කරන්නේ. ඒ අනුව අපේ නිලධාරීන් සිද්ධිය වී පැය දෙකක් ඇතුළත පැමිණ පරීක්ෂණ ආරම්භ කළා. එහෙත් කාරක සහිත විෂ වායුවක් සැලකිය යුතු මට්ටමකින් පරිසරයට මුදාහැර නැති බවටයි අපට වාර්තා වී තිබෙන්නේ. ගින්න නිවීමත් සමඟ එම විෂ වායු සම්පූර්ණයෙන්ම පහව යනවා. පවතින තත්ත්වය යථා තත්ත්වයට පත් වන තෙක් අවට ජනතාව මුව ආවරණ පැලඳ, සැලකිලිමත්ව දෛනික කටයුතුවල නිරත වන ලෙස ඉල්ලා සිටිනවා. මීට අමතරව මෙවන් සිදුවීමක් වාර්තා වූ සැණින් ඒ නැරඹීමට විශාල පිරිසක් පැමිණීම සාමාන්‍ය දෙයක්. එහෙත් එහි භයානක තත්ත්වය ගැඹුරුයි. ඒ නිසා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවන් සිදුවීම් නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙසටයි” යැයි සඳහන් කරයි.
අවම වශයෙන් දින පහක් යන තුරු නිවෙසින් පිටතට යෑමේදී මුව ආවරණ පැලඳීමටත් නල ජලය පමණක් පරිහරණය කිරීමටත් කටයුතු කරන ලෙස හෝමාගම කටුවාන කර්මාන්ත පුරය සිට කිලෝමීටරයක දුරින් සිටින ජනතාවගෙන් ඉල්ලා සිටින බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
එලෙස ශබ්ද විකාශන මඟින් ජනතාව දැනුවත් කිරීම අද (18) දින හෝමාගම ප්‍රදේශයේ දී සිදු කිරීමට එම කාර්යාලය පියවර ගෙන තිබිණි. එසේම මේ ප්‍රදේශවල සිටින ජනතාවට යම් උගුර ආශ්රිත රෝගි තත්වයක් හෝ ශ්වසන ආබාධ තත්වයක් ඇතිව තිබේ නම් වහාම ළඟම තිබෙන රෝහලට ගොස් පරීක්ෂා කරගන්නා ලෙසද එම කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පවසයි.
මහින්ද අලුත්ගෙදර, කොට්ටාව – ප්‍රදීප් කුමාර මීගොඩ – බී. කේ. කත්‍රිආරච්චි