Tuesday, May 13, 2025
Home » ලංකාවේ වත්මන් සංවර්ධනය ගැන රාජ්‍ය තාන්ත්‍රිකයින් දැනුවත් කිරීමක්

ලංකාවේ වත්මන් සංවර්ධනය ගැන රාජ්‍ය තාන්ත්‍රිකයින් දැනුවත් කිරීමක්

by chanaka
August 19, 2023 2:08 pm 0 comment

ශ්‍රී ලංකාවේ වත්මන් සංවර්ධනයන් පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කිරීම පසුගියදා(16) විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සංවිධාන කර තිබුණි.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා විසින් කොළඹ පදනම් කරගත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සඳහා ශ්‍රී ලංකාවේ වත්මන් සංවර්ධනයන් පිළිබඳ එහිදී දැනුවත් කළේය. විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ද එම සාකච්ඡාවට සම්බන්ධ විය.

ආරම්භයේදීම විදේශ අමාත්‍ය සබ්රි මහතා මෙම රැස්වීම රටේ වත්මන් සංවර්ධනයන් පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා අමාත්‍යාංශය විසින් සංවිධාන කරන ලද නිරන්තර දැනුවත් කිරීම්වල දිගුවක් බව පැවසුවේය.

මෑතකාලීන මූල්‍ය ස්ථායීකරණ ක්‍රියාමාර්ග, ආර්ථික ප්‍රතිසාධනය සහ වර්ධනය සඳහා ගෙන ඇති පියවර, දූෂණ විරෝධී පනත සම්මත කිරීම ඇතුළු ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ, යෝජිත සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය සහ යෝජිත ත්‍රස්ත විරෝධී පනත ඇතුළු ප්‍රධාන සංවර්ධනයන් පිළිබඳව අමාත්‍යවරයා විසින් විස්තර කරන ලදී. 2023 අගෝස්තු 9 වන දින 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයේ වැදගත් කරුණු අමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලද අතර දැනට ක්‍රියාත්මක වන ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් හි ප්‍රගතිය සහ ස්වාධීන යාන්ත්‍රණයන් මඟින් සිදු කෙරෙන කාර්යයන් පිළිබඳ සාරාංශයක් ද ලබා දෙන ලදී.

විශ්ව කාලාන්තර සමාලෝචනයේ (UPR) සිවුවන චක්‍රයේ දී ශ්‍රී ලංකාවේ සාධනීය සහභාගීත්වය, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ ශ්‍රී ලංකාවේ වාර්තාව සමාලෝචනය කිරීම සහ මානව හිමිකම් කවුන්සිලයේ ඉදිරි 54 වැනි සැසිවාරයට සහ 2023 සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාවේ සහභාගිත්වය ඇතුළුව බහුපාර්ශ්වික සමුළු සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සහභාගීත්වය විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය විසින් ගෙනහැර දැක්වන ලදී. 2023 ඔක්තෝබර් 3 සිට 6 දක්වා කොළඹදී පැවැත්වෙන ආසියා පැසිෆික් කලාපයේ පරිසර අධිකාරීන්හි අමාත්‍යවරුන්ගේ පස්වන සංසදය සහ ශ්‍රී ලංකාව 2023-2025 දක්වා සංවිධානයේ සභාපතිත්වය භාර ගනු ලබන, 2023 ඔක්තෝබර් 11 වන දින පැවැත්වීමට නියමිත, එළඹෙන IORA අමාත්‍ය මණ්ඩල රැස්වීම පිළිබඳවද විදේශ ලේකම්වරිය විසින් විශේෂයෙන් සඳහන් කළාය.

වන්දි ගෙවීමේ කාර්යාලයේ (OR) සභාපති ධාරා විජයතිලක, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ (OMP) සභාපති මහේෂ් කටුලන්ද, ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලයේ (ONUR) අධ්‍යක්ෂ ජනරාල් දීප්ති ළමාහේවා, සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමේ අන්තර්වාර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ගුණවංශ, විදේශයන්හි ශ්‍රී ලංකා කටයුතු පිළිබඳ කාර්යාලයේ (OOSLA) අධ්‍යක්ෂ ජනරාල් වී. ක්‍රිෂ්ණමූර්ති යන මහත්වරුන් විසින් දේශීය ආයතනවල ප්‍රගතිය පිළිබඳ ඉදිරිපත් කිරීම් සිදු කරන ලදී.

කාන්තා‍වන්, සාමය සහ ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳ යාවත්කාලීන කිරීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් චන්දිම වික්‍රමසිංහ විසින් සපයන ලදී.

කොළඹ පදනම් කරගත් එක්සත් ජාතීන්ගේ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලවල මහ කොමසාරිස්වරු සහ තානාපතිවරු මෙයට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT