Home » අර්තාපල් අවශ්‍යතාව රටේම නිපදවා ගැනීමේ ඉලක්කයක්: බීජ අර්තාපල් නිෂ්පාදනය වැඩි කිරීමට වහා පියවර ගන්න

අර්තාපල් අවශ්‍යතාව රටේම නිපදවා ගැනීමේ ඉලක්කයක්: බීජ අර්තාපල් නිෂ්පාදනය වැඩි කිරීමට වහා පියවර ගන්න

ඇමැතිගෙන් අමාත්‍යාංශ ලේකම්ට උපදෙස්

by gayan
August 19, 2023 1:00 am 0 comment

අපේ රටට අවශ්‍ය අර්තාපල් සම්පූර්ණ ප්‍රමාණයම රටේ නිපදවීම ඉලක්ක කර ගනිමින් නුවරඑළිය, සීතාඑළිය හා දියතලාව, කහගොල්ල බීජ අර්තාපල් ගොවිපොළවල නිෂ්පාදන කටයුතු ඉහළ නැංවීමට වහා පියවර ගන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් ලබා දී ඇත. අර්තාපල් මූලික බීජ සැකසීම දැනට මිලියන 03ක් දක්වා ඉහළ නංවා ඇති අතර, එමඟින් අර්තාපල් මෙට්‍රික්ටොන් 3000ක ප්‍රමාණයක් සකසා ගැනීමට හැකිවේ. එය සමස්ත ජාතික අවශ්‍යතාවයෙන් සියයට 24කි. නමුත් මෙය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන නිසා අර්තාපල් බීජ නිෂ්පාදනය ඉදිරි වසරේ සියයට 80ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස ද කෘෂිකර්ම ඇමැතිවරයා නිලධාරින්ට උපදෙස් දී තිබේ. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන දැනට කෘෂිකර්ම අමාත්‍යාංශයට හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ලබා දී ඇති මූල්‍ය ප්‍රතිපාදනවලින් වෙන් කරන ලෙසත්, ඊට අමතරව කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ව්‍යාපෘතිවලිනුත් ලබා දෙන ලෙසත් ඇමැතිවරයා නියෝග කර ඇත. එමෙන්ම කහගොල්ල බීජ අර්තාපල් ගොවිපොළ මඟින් නිෂ්පාදන වාර්තාවක් සතියකින් ලබාදෙන ලෙස ද ඇමැති මහින්ද අමරවීර මහතා දැනුම් දී තිබේ. පසුගියදා කහත්තේවෙලදී විවෘත කරන ලද අර්තාපල් තීරු නිෂ්පාදන කර්මාන්ත ශාලාවට දෛනිකව අර්තාපල් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වේ. එමෙන්ම වාර්ෂිකව මෙරට ජනතාවගේ පරිභෝජනය සඳහා ද අර්තාපල් මෙට්‍රික් ටොන් 225,000ක් අවශ්‍ය වෙයි. නමුත් මේ වන විට අපේ රටේ අර්තාපල් නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 33018කි. ඒ අනුව ඉතිරි සමස්ත ප්‍රමාණයම ආනයනය කිරීමට සිදුවෙයි. එමෙන්ම දේශීය අර්තාපල් අස්වනු නෙළාගන්නා කාලය වන විට ආනයනය බදු ඉහළ දැමුවත් ආනයනකරුවන් විසින් අර්තාපල් ආනයනය කිරීමට පියවර ගැනීම නිසා දේශීය අර්තාපල් ගොවියා අසරණ වේ. කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පසුගියදා (11) කහගොල්ල බීජ අර්තාපල් සැකසුම් ගොවිපොළ නිරීක්ෂණයට සහභාගි වූ අවස්ථාවේ මේ උපදෙස් ලබා දී ඇත.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT