Home » හෝමාගම රෝහලෙන් නිදහස් සෞඛ්‍ය සේවාවට කෙරෙන මෙහෙවර රටටම ආදර්ශයක්

හෝමාගම රෝහලෙන් නිදහස් සෞඛ්‍ය සේවාවට කෙරෙන මෙහෙවර රටටම ආදර්ශයක්

by sachintha
August 22, 2023 5:49 am 0 comment

ධර්ම රශ්මි පොසොන් කලාපයේ ඉතිරි ආධාර මුදල් හෝමාගම රෝහලට පිරිනමමින් ඇමැති ආචාර්ය බන්දුල ගු ණවර්ධන කියයි

හෝමාගම රෝහලෙන් නිදහස් සෞඛ්‍ය සේවාවට කෙරෙන මෙහෙවර රටටම ආදර්ශයක් යැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

හෝමාගම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවති ධර්ම රශ්මී පොසොන් කලාපයේ, හෝමාගම නගර මධ්‍යයේ ප්‍රාදේශීය සභාව මඟින් ප්‍රදර්ශනය කරන ලද තොරණ සඳහා ලැබුණු ආධාරවලින් ඉතිරි වූ රුපියල් ලක්ෂ 7ක පමණ මුදලින් හෝමාගම මූලික රෝහල වෙත අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව මෙම ධර්ම රශ්මි පොසොන් කලාපය පැවැත්විණි. රෝහලේ ඩෙංගු රෝගී කළමනාකරණ සංකීර්ණයට අත්‍යවශ්‍ය රෝගී ප්‍රතිකාර යන්ත්‍ර ඇතුළු වෛද්‍ය උපකරණ රැසක් මෙහිදී රෝහල වෙත පරිත්‍යාග කිරීම සිදු විය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

මේ වන විට රට පුරා පොදු සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව විශාල කතාබහක් මතුවෙමින් පවතිනවා. කොතරම් විවේචන පැවතුනත් බහුතර ජනතාවට නිදහස් සෞඛ්‍ය මඟින් අනූපමේය සේවාවක් ඉටු වන වග නොරහසක්. පෞද්ගලික හා රාජ්‍ය යන දෙඅංශයේම කොතරම් අඩුපාඩු පැවතුනත්, රටේ ඈත එපිට ප්‍රදේශවල ජනතාව පවා වැඩි විශ්වාසයක් තබන්නේ රජයේ රෝහලෙන් ලැබෙන සේවය පිළිබඳවයි.

නිදහසින් පසු මෙරට බහුතරයක් රජයේ රෝහල් ගොඩනැඟුණේ මිනිසුන්ට ආදරය කරන මිනිසුන්ගේ දායකත්වයෙන් හා පරිත්‍යාගශීලීත්වයෙන්. රෝහල් ක්ෂේත්‍රය මෙන්ම පාසල් ඉතිහාසය ද ගොඩනැඟුණේ ඒ අයුරින්. කොළඹ දිස්ත්‍රික්කයේ පවතින රෝහල් අතරින් මහජන සහයෝගීතාවය තුළින් ඉහළ ගුණත්වයකට ළඟා වූ රෝහලක් ලෙස හෝමාගම මූලික රෝහල නම් කළ හැකියි. අභියෝග රැසක් මධ්‍යයේ වුවත් පසුගිය කොවිඩ් සමය තුළ විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් බේරා ගැනීමට එහි කාර්ය මණ්ඩලයට හැකි වුණා. මේ තුළින් සැලසෙන සේවාව තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් එය ජාතික රෝහලක් බවට පත් කර ගැනීමේ වෑයමක අප නිරත වනවා. NSBM හරිත සරසවිය, ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨවලට ආසන්නයේම ඇති ප්‍රධාන රෝහල ලෙස වෛද්‍ය සිසුන්ට ශික්ෂණ රෝහලක් ලෙස භාවිතා කළ හැකි පහසුකම් සහිතව මෙම රෝහල ඉදිරියේදී නවීකරණය කළ හැකි වනු ඇති බවට මා විශ්වාස කරනවා.

රටක් ලෙස දීර්ඝකාලීනව ලබා ගත් ණය නැවත ගෙවීමේ අර්බුදයකට මුහුණ පා සිටින මේ මොහොතේ ආණ්ඩුවකට කළ හැකි දේ රඳා පවතින්නේ මූල්‍ය කළමනාකරණ ප්‍රතිපත්තිය මත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු මෙරටට ණය ලබා දෙන ආයතන සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව එකඟතාවයන්ට පැමිණීම තුළින් එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට නැවත වරක් යහපත් තත්ත්වයකට රට ගෙන යෑමේ දැඩි වෑයමක රජයේ නිරත වෙමින් සිටිනවා. කොතරම් මූල්‍ය අපහසුතා මැද වුවත් අධ්‍යාපනය සෞඛ්‍යය හා ජනතාවගේ ජීවන ගැටලුවලට විසඳුම් ලබා දීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් බවට හඳුනා ගනිමින් අප කටයුතු කරමින් සිටිනවා.

වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට සමගාමීව රෝහලේ ක්‍රියාත්මක වන දුරස්ථ ප්‍රතිකාර ඒකකය (Telemedicine unit), ප්‍රජා ළමා පුනරුත්ථාපන ඒකකය, ප්‍රධාන ශල්‍යාගාරය වෙත ඉදිකිරීමට යෝජිත පිවිසුම් මාර්ග ව්‍යාපෘතිය ඇතුළු අංශ රැසක් ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

හෝමාගම මූලික රෝහල් වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා, හෝමාගම ප්‍රාදේශීය සභාවේ ලේකම් කුමුදුනී ගුණතිලක මහත්මිය, රාජ්‍ය ඉංජිනේරු නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති කුෂාන් දේවින්ද මහතා, පළාත් පාලන ආයතන නියෝජිතයින්, රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සුභාෂිණී සේනානායක,

කොට්ටාව – ප්‍රදීප් කුමාර

මීගොඩ – බී. කේ. කත්‍රිආරච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT