Tuesday, May 6, 2025
Home » එළවළු ගොවීන්ට සුබ පණිවිඩයක්

එළවළු ගොවීන්ට සුබ පණිවිඩයක්

by yasara
August 22, 2023 10:30 am 0 comment

famers

ලබන මහ කන්නයේ සිට වී වගාව සඳහා යුරියා පොහොර ලබා දෙන මිලටම එළවළු ගොවීන්ටත් යුරියා පොහොර ලබා දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි

අමාත්‍යවරයා මේ බව පැවැසූවේ ඊයේ (21) පස්වරුවේ ආර්ථික මධ්‍යස්ථානවල පාලකයින් හා ගොවි නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවක දීය.

දැනට වෙළෙඳපොළේ ඇතැම් එළවළු මිල ගණන් ඉහළයාම සම්බන්ධව අදහස් පළ කරමින් ගොවි නියෝජිතයින් කියා සිටියේ පවතින නියඟය නිසා මෙන්ම පොහොර මිළ ගණන් ඉහළ මට්ටමක පවතින නිසා එළවළු වගා කරන ගොවීන් මහත් අසීරුතාවන්ට ලක්ව ඇති බවයි.

එමනිසා වී වගාවට මෙන්ම එළවළු වගාවට ද යුරියා පොහොර සහන මිලකට ලබා දීම සඳහා පියවර ගන්නා ලෙස ඔවුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේය.

ඊට පිළිතුරු දුන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා,

නුවරඑළිය, බදුල්ල, දඹුල්ල, ආදි ප්‍රදේශ ගණනාවක ගොවීන් සමග කළ සාකච්ඡාවල දී එළවළු වගාව සඳහා සහන මිලකට යුරියා පොහොර ලබා දෙන ලෙස ගොවි ජනතාව ඉල්ලීම් ඉදිරිපත් කළ බවත්, එමනිසා ලබන මහ කන්නයේ සිට එළවළු ගොවීන්ට වී වගාව සඳහා යුරියා පොහොර ලබා දෙන මිල ගණන්වලටම යුරියා පොහොර ලබා දීමට පියවර ගන්නා බව සඳහන් කළේය.

එමෙන්ම ලංකා පොහොර සංස්ථාව හා කොමර්ෂල් පොහොර සමාගම විසින් එළවළු හා අනිකුත් වගාවන් සදහා මිශ්‍රණ පොහොර සකස් කරන අතර එම පොහොර ද වෙළෙඳ පොළේ මිලට වඩා අඩු මිලට ලබා දීමට කටයුතු යොදා ඇති බවද සඳහන් කළේය.

මීට අමතරව ආර්ථික මධ්‍යස්ථානවල තත්ත්වය ගැන සඳහන් කළ අමාත්‍යවරයා ආර්ථික මධ්‍යස්ථාන පිහිටුවන විට අපේක්ෂිත පර්මාර්ථය මේ වනවිට ඉක්මවා ගොස් ඇති බව සඳහන් කළේය.

ආර්ථික මධ්‍යස්ථාන පිහිටුවන ලද්දේ යහපත් චේතනාවකින්. විශේෂයෙන් ගොවියාත් පාරිභෝගිකයාත් දෙදෙනාම ආරක්ෂා කිරීමේ අරමුණින්. නමුත් මේ වනවිට ආර්ථික මධ්‍යස්ථාන පාලනය කරන්නේ හා ඉන් ලාබ ලබන්නේ නාඩි කාරයින් ලෙස හඳුන්වන වෙනත් අතරමැදි පිරිසක්. මෙම තත්ත්වය නැති කළ යුතු යැයි ද කීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT