Home » හොර අංකයක් යෙදූ කාරයක් පාවිච්චි කළ විශ්‍රාමික නාවික හමුදා ලොක්කෙක් අත්අඩංගුවට

හොර අංකයක් යෙදූ කාරයක් පාවිච්චි කළ විශ්‍රාමික නාවික හමුදා ලොක්කෙක් අත්අඩංගුවට

by mahesh
August 23, 2023 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

ව්‍යාජ අංකයක් සහිත මෝටර් රථයක් පරිහරණය කිරීමක් සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක අංශයක හිමිකරුවෙක් වන විශ්‍රාමික නාවික හමුදාවේ උසස් නිලධාරියකු වලානේ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් ඊයේ (22) අත්අඩංගුවට ගනු ලැබීය.

ගල්කිස්සේ පිහිටි අදාළ ආරක්ෂක අංශ ගොඩනැඟිල්ලේ දී මේ විශ්‍රාමික නාවික හමුදා නිලධාරියා අත්අඩංගුවට ගත් බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කරයි.

මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙයට මාස 04කට පෙර මෝටර් රථයක් සමඟ නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියකු අත්අඩංගුවට ගන්නේ එම මෝටර් රථය ව්‍යාජ අංක තහඩුවකින් ධාවනය වන බවට ලද තොරතුරකට අනුවය.

එම නාවික හමුදා නිලධාරියා සේවයේ නිරතව සිටියේ ද ගල්කිස්සේ පිහිටි පෞද්ගලික ආරක්ෂක අංශයේය. මෝටර් රථය ආරක්ෂක අංශයේ හිමිකරුගේ බව නාවික හමුදා නිලධාරියා පවසා තිබුණි. ඒ අනුව පෞද්ගලික ආරක්ෂක අංශ හිමිකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කිරීමත් සමඟ ඔහු පළාගොස් සැඟව සිටි බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කරයි.

මෝටර් රථයේ තිබුණු ලියකියවිලිවලට අනුව එහි හිමිකරු පෞද්ගලික ආරක්ෂක අංශයේ හිමිකරු බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි තොරතුරු පරීක්ෂාවේදී සැබෑ මෝටර් රථයේ හිමිකරු මහනුවර අයකු බව පෙනී ගිය බවත් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කරයි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාහනය එම අංකයෙන්ම මහනුවර ඇති බවද විමර්ශනයේදී පෙනී ගොස් ඇත. ඒ අනුව චැසි අංක හා එන්ජින් අංක පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ එහි ඇති චැසි අංකයට අදාළ වාහනය කොට්ටාවේ අයකුට අයත් එකක් බවය. ඒ අනුව මේ මෝටර් රථය නීති විරෝධිව මෙරටට ගෙන්වා ඇති එකක් බව මධ්‍යම දූෂණ මර්දන බළකාය සැක කරමින් පෞද්ගලික ආරක්ෂක අංශයේ හිමිකරු අත්අඩංගුවට ගැනීමට මාස හතරක් තිස්සේ දැඩි වෙහෙසක් ගෙන තිබුණි.

පෞද්ගලික ආරක්ෂක අංශ හිමිකරු පිළියන්දල පදිංචිකරුවෙකි. ඔහු යන එන තැන් ගැන ඇස ගසාගෙන සිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ බුද්ධි අංශයේ සැරයන් ජයලාල් (428) සහ කොස්තාපල් සංජීව (91287) ඊයේ ගල්කිස්සේ පිහිටි ආරක්ෂක අංශය පැත්තේ සැරි සරමින් සිට ඇත. මාස 04ක් තිස්සේ කට්ටි පනිමින් සිටි පෞද්ගලික ආරක්ෂක අංශ හිමිකරු ඔහුගේ ආරක්ෂක අංශ කාර්යාලයට පැමිණෙන අයුරු එහිදී බුද්ධි නිලධාරීන් දෙදෙනාට නිරීක්ෂණය වී ඇති බවත් ඒ බව සිය ප්‍රධානීන්ට දැනුම් දීමෙන් අනතුරුව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එහි පැමිණ අත්අඩංගුවට ගැනීම කර ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.

ප්‍රශ්න කිරීමකින් අනතුරුව සැකකරු ගල්කිස්ස පොලිස් ස්ථානයට භාරදීමට මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පියවර ගත්තේය. මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාගේ මෙහෙයවීමෙන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ නායකත්වයෙන් උප පොලිස් පරීක්ෂක සඳරුවන්, කොස්තාපල්වරුන් වන ජයසේකර (93681), ශ්‍රියන්ත (94009), තිසර (80501) නිලධාරීහු මේ අත්අඩංගුවට ගැනීම සිදු කළහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT