Thursday, May 15, 2025
Home » පාත­ාලයේ සැන්ඩෝ හා ඇටයා මරන්න කුලී වෙඩික්කරු ආවේ උඩවලවේ සිටලු 

පාත­ාලයේ සැන්ඩෝ හා ඇටයා මරන්න කුලී වෙඩික්කරු ආවේ උඩවලවේ සිටලු 

පාතාලයේ කොස් මල්ලීගේ ඥාතියෙක් අත්අඩංගුවට

by mahesh
August 23, 2023 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ, දෙහිවල - ඩී. පී. හේරත්

පුද්ගලයන් බියගන්වාගෙන අපරාධවල නිරතව සිටින දෙහිවල ඕබන් පෙදෙසේ පදිංචි සැන්ඩෝ සහ ඇටයා නම් අපරාධකරුවන් දෙදෙනා ඉලක්ක කරගෙන පසුගිය 19 දා වෙඩි තැබූ වෙඩික්කරු කුලී ඝාතකයකු බවත් ඔහු උඩවලවේ සිට පැමිණ මෙම වෙඩි තැබීම කර ඇති බවත් පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබේ.

වෙඩික්කරුට සැඟව සිටීමට දෙහිවල ප්‍රදේශයෙන් මාසයක කාලයක් සඳහා කුලී නිවසක් ද ලබා දී තිබී ඇති බව ද විමර්ශනවලින් හෙළිවී ඇත. වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට දිනකට පෙර උඩවලවේ සිට පැමිණි වෙඩික්කරු හෝටල් කාමරයක නවාතැන් ගෙන සිට වෙඩි තැබීමට පැමිණ ඇති බවත් ඒ සඳහා පහසුකම් සපයා ඇත්තේ ඩුබායිහී රැඳී සිටින පාතාල අපරාධකරුවකු වන කොස්මල්ලී නැමැත්තාගේ ඥාතියකු බවත් පොලිසිය කියයි.

දෙහිවල පදිංචි එම ඥාතියා පෙරේදා (21) සවස දෙහිවල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම සැකකරුගේ දෙහිවල නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී වෙඩික්කරු පැමිණි යතුරු පැදියේ සවිකර තිබුණු ව්‍යාජ අංක තහඩුව ද එහි තිබී හමුවූ බව පොලිසිය කියයි.

මෙම වෙඩි තැබීමේ කොන්ත්‍රාත්තුව උඩවලවේ වෙඩික්කරුට ලබාදී ඇත්තේ ඩුබායිහී සිටින කොස් මල්ලී විසින් බවත් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් වූ ආරවුලක් මෙම වෙඩි තැබීමට මුල්වී ඇති බවත් විමර්ශනවලින් තොරතුරු හෙළිවී තිබේ.

වෙඩික්කරුගේ ඉලක්කය බවට පත්ව තිබුණේ සැන්ඩෝ සහ ඇටයා වූවත් වෙඩි ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේදී ඔවුන් දෙදෙනා දිවගොස් දිවි බේරාගෙන තිබුණි. එහෙත් වෙඩික්කරු තැබූ එක් වෙඩිල්ලක් වැදී තුවාල ලබන්නේ ඕබන් පෙදෙසේ ධීවර නිවාසවල පදිංචි පුද්ගලයෙකි. හර්ෂණ මධුෂංක ෆොන්සේකා (30) නම් වන ඔහු දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ විදුලි අංශයට අනුයුක්තව සේවය කරනු ලබන අයෙකු වන අතර, ඔහුගේ පාදයකට වෙඩි වැදී ඇති බව පොලිසිය කියයි.

ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙනිය, පොලිස් අධිකාරි සමන් ජයසේකර යන මහතුන්ගේ අධීක්ෂණය යටතේ දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ උපදෙස් මත අපරාධ අංශ‍ෙය් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. එල්. ඒ. එස්. යූ. කේ. ලියනආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT