වෛද්‍ය සමරසිංහට 31 උසාවි එන්න අවවාද – විමර්ශන කඩිනමින් අවසන් කරන්න පොලිසියට අවවාද:
රිජ්වේ ආර්යා ළමා රෝහලේදී වකුගඩු සැත්කමට ලක්ව මියගිය අවුරුදු තුනක් වයසැති පිරිමි දරුවාගේ වම් වකුගඩුව අඩු ක්‍රියාකාරිත්වයේ තිබූ බවත් දකුණු වකුගඩුව 90% ක ක්‍රියාකාරී තත්ත්වයේ තිබූ බවට තමා හඳුනාගත් බවත් දරුවා මුලසිට නිරීක්ෂණය කළ මලික් කසාර් සමරසිංහ විශේෂඥ වෛද්‍යවරයා විසින් පොලිසියට ප්‍රකාශයක් ලබා දී ඇතැයි ද පොලිසිය අධිකරණය හමුවේ පැවසීය. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය වෙත බොරැල්ල පොලිසිය සිද්ධියේ විමර්ශන පිළිබඳ අධිකරණයට ඊයේ (22) මෙම කරුණු වාර්තා කළේය.සිද්ධිය පිළිබඳ නඩුව ඊයේ (22) නැවත කැඳවූ අවස්ථාවෙහිදී බොරැල්ල පොලිසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ වෛද්‍ය නිලධාරීන්ගේ සාක්ෂි සටහන් කරගත් බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මලික් කසාර් සමරසිංහ මහතාගෙන් ද ප්‍රකාශ සටහන් කරගත් බව ය.
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලෙස සේවය කරන මලික් සමරසිංහ මහතා රිජ්වේ ළමා රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු ලෙස සේවය කරන බව සඳහන් කළ පොලිසිය මියගිය මෙම දරුවා මුල සිට නිරීක්ෂණය කරනු ලැබ ඇත්තේ මෙම වෛද්‍යවරයා විසින් බවත් සඳහන් කළේය.
දරුවාගේ වම් වකුගඩුව අඩු ක්‍රියාකාරිත්වයේ තිබූ බවත් දකුණු වකුගඩුව 90% ක ක්‍රියාකාරී තත්ත්වයේ තිබූ බවට තමා හඳුනාගත් බවත් සමරසිංහ වෛද්‍යවරයා විසින් පොලිසියට ප්‍රකාශ ලබා දී ඇතැයි පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.
මවුපිය කැමැත්ත මත වම් වකුගඩුව ඉවත් කිරීමට තීරණය කර 2022/ 12/24 රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නවීන් විජේකෝන් මහතා විසින් මෙම ශල්‍යකර්මය සිදුකළ බවත් ශල්‍යකර්ම අතරමඟදී තමන්ද එයට සහභාගී වූ බවටත් හෙතෙම සඳහන් කර ඇත.
ශල්‍යකර්මය අතරතුරදී ඇතිවූ ගැටලුවක් මත විකිරණවේදී වෛද්‍යවරයකු ගෙන්වා ස්කෑන් පරීක්ෂණයක් සිදුකර වකුගඩු දෙකක් ඇති බවට කරුණු තහවුරු කරමින් අනතුරුව වම් වකුගඩුව ඉවත් කරන ලෙසට තමා උපදෙස් ලබා දුන් බව සාක්ෂියේ සඳහන් වේ.
සැත්කමෙන් අනතුරුව දරුවාගේ වකුගඩු දෙකම ඉවත් කර ඇති බවට තමා දැනගත් බවත් ඕනෑම අවස්ථාවකදී සාක්ෂි දීමට තමා එකඟ බවටත් වෛද්‍යවරයා පොලිසිය හමුවේ පවසා ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.
මහාචාර්ය රන්දුල රණවක, විශේෂඥ වෛද්‍ය ජෙරාඩ් ප්‍රනාන්දු, ස්කෑන් පරික්ෂා සිදුකළ වෛද්‍යවරුන් හා විශේෂඥ ශල්‍ය වෛද්‍ය නවීන් විජේකෝන්ගේ මහතාගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට ඇති බවත් වෛද්‍ය නවීන් විජේකෝන් මහතා 2022/11/23 කරන ලද ඉල්ලීම කට අනුව 2023/1/28 වන දින විදේශගතව ඇතැයි ද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය දරුවා මුලසිට පරීක්ෂා කළ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මලික් සමරසිංහ මහතාට මේ මස 31 වන දින අධිකරණය හමුවේ සාක්කි ලබාදීම සඳහා පෙනී සිටින ලෙසට නියෝග කරමින් සිද්ධියට අදාළ මූලික විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙසට බොරැල්ල පොලිසියට අවවාද කළාය.