Home » රත්වත්ත වතුයායේ කම්කරුවකුගේ තාවකාලික නිවෙස කඩා ඉවත් කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා

රත්වත්ත වතුයායේ කම්කරුවකුගේ තාවකාලික නිවෙස කඩා ඉවත් කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා

by mahesh
August 23, 2023 1:00 am 0 comment

මාතලේ ඇල්කඩුව, රත්වත්ත වතුයායේ කම්කරුවකු තාවකාලිකව පදිංචිව සිටි නිවෙස කඩා ඉවත් කිරීමට එරෙහිව නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමාන් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) ප්‍රකාශ කෙළේය.

මාතලේ රත්වත්ත වතුයායේ ඇතිව තිබෙන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇති වූ අවස්ථාවේ ඒ පිළිබඳ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ඇමැතිවරයා තවදුරටත් මෙසේද පැවසීය.

මෙම සිද්ධියට සම්බන්ධ එම වතුයායේ වැවිලි කළමනාකරුවකු සේවයෙන් ඉවත් කිරීමට පියවර ගත්තා. ඊට සම්බන්ධ සෙසු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා.

මේ ගැටලුව සම්බන්ධයෙන් සාමූහික විසඳුමක් ලබා ගත යුතුයි. ද්‍රවිඩ මැති ඇමැතිවරුන් අතර ගැටුම් මේ සම්බන්ධයෙන් ඇති කර නොගත යුතුයි. වතු කම්කරුවන්ට රුපියල් 1000 කින් වැටුප් වැඩි කිරීමට සාකච්ඡා කළා. ද්‍රවිඩ වතු කම්කරුවන් වහලුන් නොවේ.

වතු කම්කරුවන්ගේ ශ්‍රමය සූරා කෑම සම්බන්ධයෙන් පාලක සභාවෙන් කටයුතු නොකරන නිසා ජාත්‍යන්තර නීතියට අනුව විසඳුමක් ලබා ගත යුතුයි.

කඳුකර වතු කම්කරුවන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා ප්‍රදේශයේ මැති ඇමැතිවරුන්ට ආරාධනා කර තිබුණා. නමුත් වතු කම්කරුවන්ගේ ගැටලු විසඳීම කෙසේ වෙතත් එම ගැටලු දේශපාලන ඕනෑ එපාකම් ඉටු කර ගැනීමට යොදා ගැනීමට ඇතැම් පිරිස් කටයුතු කරනවා.

ද්‍රවිඩ ජාතිකයන් දෙස සුළු ජාතිකයන් ලෙස බලන සමාජය තුළ අපි අප අතරත් බෙදුම් ඇති කර ගෙන කටයුතු කරන්නේ නම් මේ ගැටලු විසඳා ගන්නේ කෙසේද?.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT