මේ වසරේ ජනවාරියේ සිට මේ දක්වා මැණික් හා ස්වර්ණාභාරණ ක්ෂේත්‍රයේ අපනයනවලින් අමෙරිකානු ඩොලර් මිලියන 315ක ආදායමක් උපයාගෙන තිබෙන බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක මහතා පැවසීය. එමෙන්ම මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය 34%ක අපනයන වර්ධන වේගයක් අත් කරගෙන ඇති බවත්, එය මහ බැංකු වාර්තා මඟින්ද තහවුරු කර තිබෙන බවත් රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය. ඔහු මේ අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසීය:
“පසුගිය කාලයේ මැණික් අපනයනයෙන් ලැබුණු ඩොලර් රටට ලැබුණාද කියන ප්‍රශ්නය තිබුණා. ඒ ගැටලු මඟහරවාගැනීම වෙනුවෙන් නව රජය යටතේ නව රේගු නිෂ්කාශන ක්‍රමවේදයක් සකස් කළා. මේ වන විට අපේ රටින් විදේශ රටකට ගෙන යන සෑම මැණික් ගලකටම ඩොලර් ලැබෙනවාද කියා නිසි සොයා බැලීමක් සිදු වනවා. ඒ වගේම අපනයනකරුවන්ගේ ගැටලු විසඳීමටද පියවර ගෙන තිබෙනවා. අපනයනකරුවන්ට ඕනෑම අවස්ථාවක දොරටු විවෘත කර තිබෙනවා.
පසුගිය වසරේ අධිකාරියට ලැබී තිබුණේ බලපත්‍ර ලබාදීමෙන් හා තක්සේරු ගාස්තු තුළින් රු. මිලියන 144ක් පමණයි. මෙම වසරේ මේ වන විට පමණක් රුපියල් මිලියන 288ක ලාභයක් අධිකාරිය විසින් අත් කරගෙන තිබෙනවා. මෙවසර අවසන් වන විට අධිකාරියට ලැබෙන ලාභය 200%කින් වැඩි කරගැනීමට සැලසුම් සකස් කර තිබෙනවා.“