Sunday, May 11, 2025
Home » පෞද්ගලික බස් රියැදුරකුට පහර දී ලංගම රියැදුරකු හා කොන්දොස්තර රිමාන්ඩ්

පෞද්ගලික බස් රියැදුරකුට පහර දී ලංගම රියැදුරකු හා කොන්දොස්තර රිමාන්ඩ්

by mahesh
August 23, 2023 1:00 am 0 comment

වේයන්ගොඩ විශේෂ

නිට්ටඹුව නගරයේ දී පුද්ගලික මගී බස් රථයක රියැදුරෙකුට පහර දුන් බව කියන නිට්ටඹුව ලංගම ඩිපෝවේ සැකකාර රියැදුරෙකු හා කොන්දොස්තරවරයෙකු අද (23) දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (22) නියෝග කළේය.

දිලිප් මදුරංග ප්‍රනාන්දු (රියැදුරු) හා ප්‍රදීප් මධුශංක (කොන්දොස්තර) යන දෙදෙනකු එසේ රිමාන්ඩ් කෙරිණි.

නිට්ටඹුව ලංගම ඩිපෝවට අයත් බස් රථයක් පසුගිය 09 වනදා කොළඹ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබියදී පානදුර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී බස් රථයක් නිට්ටඹුව නගරයේදී නවතා බස් රථ දෙකේ සේවකයින් අතර ගැටුමක් ඇති වී සැකකාර ලංගම බස් රථයේ රියැදුරාට තුවාල සිදු වී රෝහල් ගත කර තිබිණ.

එම සිද්ධිය සම්බන්ධව මෙයට පෙර නිට්ටඹුව පොලිසිය විසින් පෞද්ගලික බස් රථයේ සැකකාර රියැදුරා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ රිමාන්ඩ් භාරයේ රඳවා සිට මේ වන විට ඇප මත මුදා හැර සිටී.

මෙම ගැටුමට සම්බන්ධ ලංගම රියැදුරා රෝහලෙන් පිටව පැමිණීමෙන් අනතුරුව නිට්ටඹුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා එහි කොන්දොස්තරවරයා ද අත්අඩංගුවට ගෙන දෙදෙනාම ඊයේ (22) අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ එසේ රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියෝග කැරිණි.

නැවත කැඳවීම අද 23 වනදාට කල් තැබිණ.

සැකකාර ලංගම රියැදුරා හා කොන්දොස්තරවරයා වෙනුවෙන් නීතිඥ ගාමිණී විජේතිලක මහතා පෙනී සිටියේය.

නිට්ටඹුව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. ඩබ්ලිව්. ඇල්. රවීන්ද්‍ර මහතාගේ උපදෙස් පරිදි එහි නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන්වරුන් වන එච්. ආර්. ඇස්. කුමාර හා සමන් තිලක යන මහත්වරු පැමිණිල්ල මෙහෙය වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT