Tuesday, May 13, 2025
Home » පොල්පිටිය – හම්බන්තොට දක්වා දිවෙන විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ජාතික පද්ධතියට

පොල්පිටිය – හම්බන්තොට දක්වා දිවෙන විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ජාතික පද්ධතියට

by chanaka
August 24, 2023 4:34 pm 0 comment

අලුතින් ඉදිකරන ලද පොල්පිටිය – හම්බන්තොට කිලෝවොට් 220 සම්ප්‍රේෂණ මාර්ගය සහ හම්බන්තොට නව ග්‍රිඩ් උපපොළ අද (24) බලගන්වා ජාතික පද්ධතියට එක් කල බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි

මෙම සම්ප්‍රේෂණ මාර්ගය සහ ග්‍රිඩ් උපපොළ ඉදිකිරීම උදෙසා අරමුදල් සැපයීම ආසියානු සංවර්ධන බැංකුව විසින් සිදු කරන ලද අතර, ඒ අනුව ඔවුන් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 55ක මුදලක් ව්‍යාපෘතිය සඳහා සපයා ඇත.

කිලෝමීටර 150 ක දිගකින් යුක්ත මෙම සම්ප්‍රේෂණ මාර්ගය අඹගමුව සිට හම්බන්තොට දක්වා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11 ක් හරහා දිවෙන අතර, එහි සම්ප්‍රේෂණ මාර්ග ධාරිතාවය 580 MVA වේ. එමෙන්ම ට්‍රාන්ස්ෆෝමර දෙකකින් යුක්තව හම්බන්තොට ග්‍රිඩ් උපපොළ ඉදිකරන ලද අතර, එහි සමස්ථ ධාරිතාවය 500 MVA වේ.

සම්ප්‍රේෂණ ජාලයේ සිදුකරන ලද මෙම වැඩිදියුණු කිරීම සමඟ, දකුණු පළාතේ විදුලිබල ජාල පද්ධතිය වඩාත් ශක්තිමත්වූ අතර, එමගින් විදුලිබල සැපයුමේ ඇති ගුණාත්මක භාවය වර්ධනය වීම මෙන්ම දකුණු පළාත තුළට සහ ඉන් පිටතට විදුලිබල සම්ප්‍රේෂණය කිරීමේ ධාරිතාවය ද ඉහළ නංවා ඇත.

මෙම අවස්ථාව ලංවිම සභාපති නලින්ද ඉලංගකෝන් මහතා සහ ලංවිම සාමාන්‍යාධිකාරි ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න මහතාගේ ගෞරවනීය සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර ඒ සඳහා ලංවිම අතිරේක සාමාන්‍යාධිකාරි (ව්‍යාපෘති) ඉංජිනේරු සී.ඩී. සතරසිංහ මහත්මිය, හිටපු ව්‍යාපෘති අධ්‍යක්ෂ (හරිත බලශක්ති සංවර්ධන ව්‍යාපෘතිය) ඉංජිනේරු එච්.කේ. ඉලේපෙරුම මහතා සහ වර්තමාන එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන හා ව්‍යාපෘති අධ්‍යක්ෂ (උමාඔය ජල විදුලි ව්‍යාපෘතිය) ලෙසද කටයුතු කරනු ලබන ඉංජිනේරු අනුරුද්ධ තිලකරත්න මහතා ද සහභාගී විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT