Home » නීති සතියේදී ඔබේ ප්‍රශ්නය අපට කියන්න

නීති සතියේදී ඔබේ ප්‍රශ්නය අපට කියන්න

ජාතික නීති සතිය කමිටුවේ සභාපති, ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා

by mahesh
August 25, 2023 1:02 am 0 comment

උදිත ගුණවර්ධන

ජාතික නීති සතිය 2023, සැප්තැම්බර් මස 25 වනදා සිට ඔක්තෝබර් මස 01 වනදා තෙක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය කටයුතු කර තිබේ. වසර කිහිපයක විරාමයෙන් පසු ක්‍රියාත්මක කෙරෙන ජාතික නීති සතිය මඟින් මෙරට ප්‍රජාවට අවශ්‍ය නීති සහන සහ දැනුම්වත් කිරීම් සිදු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය කටයුතු කර තිබේ. ජාතික නීති සතිය පිළිබඳව ජාතික නීති සතිය කමිටුවේ සභාපති, ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

– නීතිඥවරු කියන්නේ ජනතාව වෙනුවෙන් කැපවුණ පිරිසක්
– තරාතිරම කුමක් වුවත් අපි සේවය ලබා දෙනවා
– රට පුරා නීති සායන රැසක් සූදානම්
– නීතිය ගැන නොදැනුවත්වීම විශාල අඩුවක්

ජාතික නීති සතිය කියන්නේ කුමක්ද ?

ඇත්තෙන්ම නීති සතිය කියන්නේ ජාතික වශයෙන් ජනතාවට වඩාත් වැදගත් වැඩපිළිවෙළක් විදිහට හඳුන්වා දීමේ වරදක් නැහැ. ඇත්තෙන්ම නීතිය කුමක්ද? නීතියේ සරණ ලබා ගන්නේ කොහොමද මේ සඳහා කැප වෙන්නේ කොහොමද? කියන කරුණ පිළිබඳව ජනතාව දැනුම්වත් කළ යුතුයි. එහෙම නොවනතාක් කල් ජනතාව සහ නීතිය අතර ලොකු දුරස්ථ භාවයක් ඇති වෙන්න පුළුවන්. ඒත්, නීති සතිය වගේ ප්‍රායෝගික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම තුළින් ජනතාව සහ නීතිය අතර දුරස්ථ භාවය නැති කර ගැනීමට හැකියාව ලැබෙනවා.

පසුගිය අවුරුදුවල තිබූ අයහපත් වාතාවරණය නිසා මෙම නීති සතිය වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක කරන්න බැරි වුණා. 2018 අවුරුද්දෙන් පසු 2023 වර්ෂයේදී තමයි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ. ඇත්තෙන්ම මේ සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥවරු පිරිසක් මැදහත් වුණා. ඒ ඉල්ලීම් නිසා මෙම නීති සතිය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම ආරම්භ වුණා.

ඔබ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු විදිහට මෙම වැඩපිළිවෙළ ඉතාමත් සාර්ථක වැඩපිළිවෙළක් බව කල්පනා කරනවාද?

කිසිම වැඩපිළිවෙළක් සියයට සියයක් සාර්ථක වෙන්නේ නැහැ. එහෙම සියල්ල සියයට සියයක් සාර්ථක වෙන බව කෙනකු හිතනවා නම්, ඒක වැරැදි සිතුවිල්ලක් පමණයි. එහෙත්, මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම තුළින් යම් කිසි හෝ යහපතක් ජනතාව වෙත ලබා ගැනීමට පුළුවන්කම ලැබෙනවා. අපි ශ්‍රී ලංකා නීතිඥ සංගමය විදිහට විශ්වාස කරනවා, මෙම වැඩපිළිවෙළ මඟින් ගමේ නගරයේ ප්‍රාදේශීය මට්ටමින් ඉන්න පුංචි මනුස්සායට කිසියම් හෝ සහනයක් ලබා ගැනීමට පුළුවන්කම තිබෙනවා කියලා. නීතිඥවරු සහ පොදු ජනතාව අතර ළඟ සම්බන්ධතාවක් මෙමඟින් ඇති වෙනවා. ඒ ගැන සුබදායක බලාපොරොත්තු රැසක් අපට තියා ගන්න පුළුවන්. ඇත්තෙන්ම අද සමහරු නීතිය පිළිබඳ අවබෝධයක් නැති කම විශාල අඩුවක් විදිහට පෙන්වන්න පුළුවන්. ඒ නිසා ජාතික නීති සතිය වැනි වැඩසටහන් මඟින් පොදු ජනතාව වෙත ඒ ගැන අවබෝධයක් වගේම නීතියෙන් තමන්ට අවශ්‍ය පිළිසරණ ලබා ගන්නේ කොහොමද කියන කරුණ පැහැදිලිව දැන ගැනීමට හැකියාව තිබෙනවා.

ජාතික නීති සතිය වැඩපිළිවෙළ මඟින් ජනතාව වෙත අවශ්‍ය සහන ලබා දෙන ක්‍රමවේද පිළිබඳව පැහැදිලි කිරීමක් කළ හැකිද.?

මෙම ජාතික නීති සතිය වැඩපිළිවෙළ සඳහා මෙරට දිස්ත්‍රික් විසිපහම නියෝජනය කරනු ලබන ප්‍රාදේශීය නීතිඥ සංගම්වල මෙහෙයවීමෙන් රටපුරා ස්ථාන රැසක ක්‍රියාත්මක කරනවා.

නීතිඥ ප්‍රජාව සහ ජනතාව අතර යම් දුරස්ථභාවයක් තියෙන බව බොහෝ දෙනාගේ අදහසයි. මේ තත්ත්වය තුළ මෙම වැඩසටහන කොතරම් දුරට සාර්ථක වේවි දැයි කිව හැකිද?

ඇත්තෙන්ම ඔබ කියූ කරුණ යම් පමණකට සමාජය තුළ තැන්පත්ව තිබෙන කරුණක්. එහෙත් ඇත්ත තත්ත්වය එය නොවෙයි. අපේ නීතිඥ ප්‍රජාව ජනතාව වෙනුවෙන් කැපවෙලා වැඩ කරන පිරිසක්. සමහර විට ඉතාමත් සුළු පිරිසක් ඉන්නවා ඇති එහෙම නොවන. ඒ සුළු පිරිස නිසා සමස්තයම එහෙමයි කියලා සිතන එක වැරැදියි. ඒත්, ජාතික නීති සතිය වැනි ජනතාව සමඟ වැඩ කරන ඔවුන්ගේ ගැටලු පිළිබඳව ස්වේච්ඡාවෙන් මැදහත් වන වැඩපිළිවෙළකින් ඒ දුර්මතය බොහෝදුරට නැති කිරීමට හැකියාව ලැබෙනවා. අපේ නීතිඥවරුන් ප්‍රාදේශීය මට්ටමෙන් සිදු වෙන ජනතා අවශ්‍යතා සඳහා මැදහත් වීමට මේ වැඩපිළිවෙළට ලොකු පිටිවහලක් ලැබෙනවා. ඒ වැඩපිළිවෙළ තුළ තිබෙන්නෙම ජනතාව වෙත තව තවත් සමීප වීමයි. ඒ වගේම ඔවුන්ගේ ප්‍රශ්න තේරුම් ගැනීම සහ ඒ සඳහා ස්වේච්ඡාවෙන් මැදහත්ව වැඩ කිරීම යන කරුණුයි. ඒ නිසා නීතිඥවරු ජනතාවගෙන් දුරස් වූ පිරිසක් නොවෙයි, ජනතාව සමඟ එක්ව කටයුතු කරන ඔවුනගේම කොටසක් විදිහට හඳුන්වා දීම වඩාත් වැදගත් දෙයක් විදිහට සඳහන් කළ යුතුයි.

බොහෝ අවස්ථාවල තමන් මුහුණදෙන ගැටලු පිළිබඳව නීතිමය උපදෙස් ලබා ගැනීමට සාමාන්‍ය වැසියකුට අවස්ථාවක් ලබා ගැනීම අමාරු වැඩක්. මේ තත්ත්වයට ජාතික නීති සතිය තුළ ලැබෙන අවස්ථාව පිළිබඳව පැහැදිලි කළ හැකිද?

01131338872 හෝ 0113133864 යන දුරකතන අංකවලට වාචිකව පැමිණිලි කළ හැකියි. එහෙම නැතිනම් ජාතික නීති සතිය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අංක 163, කොළඹ 12. යන ලිපිනයට ලිඛිතව දන්වන්න පුළුවන්. එමඟින් ලැබෙන සියලු ගැටලු සඳහා ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒ සඳහා ජනතා ප්‍රශ්න අප වෙත යොමු කරන්න. ඒ සියලු ගැටලු සඳහා අවශ්‍ය විසඳුම් ලබා දීමට අපි ඉතාමත් කැමැත්තෙන් සිටිනවා. මෙම ගැටලු සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥවරු , ජනාධිපති නීතිඥවරු ස්වේච්ඡාවෙන් නීති උපදෙස් දීමේ සේවය සැප්තැම්බර් මාසයේ 27 සහ 28 දෙදින අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී සිදු කිරීමට සූදානම්ව සිටිනවා.

මේ වැඩසටහන ඔබ සංගමයට තනිව ක්‍රියාත්මක කළ හැකි වැඩසටහනක් නොවෙයි. මේ කාර්ය සඳහා දායකත්වය ලබා දෙන සෙසු ආයතන තිබේද?

ඔව්. අධිකරණ අමාත්‍යංශය, නීති ආධාර කොමිසම, නීතිපති දෙපාර්තමේන්තුව වගේම අධ්‍යාපන අමාත්‍යංශය ද අපට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඇත්තෙන්ම අපට මෙම ආයතනවලින් ලබා දෙන සහයෝගය පිළිබදව විශේෂ අැගැයීමක් කළ යුතුයි.

* ජාතික නීති සතිය වැඩසටහන මඟින් දැනුම්වත් කරන්නේ නීතිය පිළිබඳව පමණක්ද? ඉන් එහා ගිය කාර්යයක් තිබෙනවාද?

පාසල් සහ එවැනි ආයතන මට්ටමෙන්ද සලකා බලා අවශ්‍ය දැනුම්වත් කිරීම් සිදු කරනු ලබනවා. එහිදී නීතිය පමණක් නොවෙයි, වරදට යොමුවීම වළක්වන්නේ කොහොමද කියන කරුණ පිළිබඳව ද අවධානය යොමු කර ඒ අනුව අවශ්‍ය දේශන සහ දැනුම්වත් කිරීම් සිදු කරනු ලබනවා. අද ලොකුම ගැටලුවක් බවට පත්ව තිබෙන්නේ මත්ද්‍රව්‍ය සඳහා ළාබාල දරුවන් ගොදුරුවීමයි. ඒ නිසා අප මූලික ලෙසම දරුවන් මෙයින් මුදා ගැනීම පිළිබඳව දැනුම්වත් කිරීම් සිදු කරනු ලබනවා. ඒ වගේම විවිධ අපයෝජන ළමුන්ට සිදු වෙනවා. එවැනි තත්ත්වයන්ගෙන් දරුවන් බේරා ගන්නේ කොහොමද කියන දේ පිළිබඳව දැනුම්වත් කිරීම්ද සිදු කරනු ලබනවා. මෙවැනි තත්ත්වයන්හිදි නීතිමය පිළිසරණ ලබා ගන්නේ කොහොමද කියා දැනුම්වත් කිරීම් සිදු කරනු ලබනවා.

රාජ්‍ය නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයන්ට නීතිය පිළිබඳව දැනුවත්භාවයක් ලබා දීමට මේ වැඩපිළිවෙළ තුළ ක්‍රමයක් ක්‍රියාත්මක වේද?

ඔව්. මෙහිදි රාජ්‍ය නිලධාරීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව අවශ්‍ය නීතිමය දැනුම්වත් කිරීම් සිදු කිරීමත් අපේ එක් අරමුණක් විදිහට පැහැදිලි කරන්න පුළුවන්. මේ අපේ ආරම්භය පමණයි. මේ වැඩසටහන දීර්ඝ කාලීනව ඉදිරියට ක්‍රියාත්මක කිරීම තුළ නීතිය පිළිබඳව දැනුම්වත් භාවයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

ඔබ සඳහන් කළා ජනතාව මුහුණ දෙන නීති ගැටලුවලට ජ්‍යෙෂ්ඨ නීතිඥවරු හරහා අවශ්‍ය විසඳුම් සහ මඟ පෙන්වීම ලබා දෙන බව. ඒ ගැන තව දුරටත් පැහැදිලි කිරීමක් කළ හැකිද?

අපට මෙහිදී දැනට අධිකරණයේ විභාග වන නඩු පිළිබඳව උපදෙස් ලබා දීමට හෝ ඒ ගැටලු සඳහා මැදහත් වෙන්න බැහැ. එහෙත්, එයින් බැහැරව තිබෙන ගැටලු පිළිබඳව දැනුම්වත් කිරීම් වගේම අවශ්‍ය නීති උපදෙස් ලබා දෙන්න අපට පුළුවන්. ඒ වගේම දීර්ඝ කාලීනව බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගේ ගැටලු සඳහා අවශ්‍ය විසඳුම් ලබා දීමට ද අප සංගමය කටයුතු කරනු ලබනවා.අප මෙහිදී අපරාධ නීතිය ගැන පමණක් නොවෙයි, ඉන් එහා ගිහින් එවැනි රැඳවියන්ගේ කරුණු පිළිබඳවත් අවධානය යොමු කිරීමටත් කටයුතු සැලසුම් කර තිබෙනවා. ඇත්තෙන්ම ජාතික නීති සතිය තුළින් අප විවිධ අංශ ගැන ලොකු අවධානයක් යොමු කරනවා.

මෙම වැඩසටහන කොළඹ පමණක් මූලික කරගෙන සිදු කරන වැඩසටහනක්ද?

නැහැ. අප කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය මූලික කර ගෙන මෙම වැඩසටහන මූලිකව ක්‍රියාත්මක කළත් ඒ සමඟ රට පුරා තෝරාගත් ස්ථාන ආශ්‍රිතව ද මෙම කාර්ය සිදු කරනු ලබනවා. මෙම කාර්ය පිළිබඳව තවදුරටත් තොරතුරු ඉදිරියේදී දැන ගැනීමට හැකියාව ලැබේවි. මූලිකව අප ලබා ගෙන තිබෙන මෙම ආරම්භය ඉදිරියේදී තවදුරටත් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙන බවට විශාල විශ්වාසයක් තිබෙනවා.

මෙම වැඩසටහන සඳහා සියලු තරාතිරමේ නීතිඥවරු සහභාගි වෙනවාද?

ඔව්. විවිධ මට්ටමේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරු වගේම කනිෂ්ඨ නීතිඥවරුද මේ කාර්ය සඳහා එක්ව කටයුතු කරනවා. නීතියට නිසි ලෙස ප්‍රවේශ වෙන්නේ කොහොමද කියන කරුණ පිළිබඳව අප දැනුම්වත් කරනවා. නීති සතිය තුළ ආදායම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. තරාතිරම මොකක්ද කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ සඳහා සහයෝගය ලබා දීමට අප සූදානම්. ජනතාවට නීතිඥ ප්‍රජාවගෙන් ඉටු විය යුතු ඉමහත් සේවයක් තිබෙනවා. ඒ ඉමහත් සේවය නිසි විදිහට ඉටු කිරීම තමයි අපේ අරමුණ වෙලා තිබෙන්නේ. ජනාතාව කල්පනා කරනවා අප නීති සහාය ලබා දෙන්නේ මුදලට පමණයි කියලා. එහෙත්, ඒ සිතුවිල්ල වැරැදියි කියන එක අප ඉදිරිපත් කරනු ලබනවා. එය ප්‍රජාව මූලික කරගත් මෙම වැඩපිළිවෙළ තුළින් ජනතාවට පැහැදිලි කර ගැනීමට හැකියාව ලැබෙන බව ස්ථිරයි.

මෙම කාර්යභාරය සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ලබා දෙන සහයෝගය අගය කරමින් ඒ බව සිහිපත් කළ යුතුයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT