එක්සත් රාජධානියේ සර්ව වාර්ගික ප්‍රජාව රණවිරු දරුවන් සඳහා රුපියල් මිලියන 1.2ක් පිරිනමයි. රණවිරු සේවා අධිකාරිය විසින් පසුගිය අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයෙන් ‘ඒ’ සාමාර්ථ 9ක් ලබාගත් රණවිරු පවුල්වල දරුවන් දස දෙනෙකු සඳහා අ.පො.ස (උසස් පෙළ) අධ්‍යාපනය සාර්ථක කරගැනීමට අත්වැලක් ලෙස වසර දෙකක කාලයක් සඳහා රුපියල් මිලියන 1.2ක් පිරිනමන ලදි. මේ ශිෂ්‍යත්ව සඳහා අනුග්‍රහය දක්වන්නේ එක්සත් රාජධානියේ සර්ව වාර්ගික ප්‍රජාව විසිනි. එක්සත් රාජධානියේ වෙසෙන සිංහල, දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ගෙන් සමන්විත මේ සංවිධාන තවත් ශිෂ්‍යත්ව 90ක් කඩිනමින් පිරිනැමීමට අදහස් කරයි.
රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ අදහසකට අනුව පෙරේදා (23) කොළඹ කොල්ලුපිටියේ පිහිටි රණවිරු සේවා අධිකාරි කාර්යාලයේදී සංවිධාන කරන ලද ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා සහභාගී විය. ඒ අනුව සෑම සිසුවකුටම මාසිකව රු. 5,000.00 බැගින් වසර දෙකක කාලයක් සඳහා ශිෂ්‍යත්ව හිමි විය. “මේ ශිෂ්‍යත්ව ඔබට ලබාදෙන්නේ ඔබේ පියවරුන්ගේ කැපකිරීම්වලට කෘතගුණ සැලකීමක් ලෙසයි. ඒ බවත් වටහාගෙන හොඳින් ඉගෙන ගෙන මව්බිමට සේවය කිරීම ඔබේ වගකීමක්” බව උත්සව සභාව අමතමින් ජෙනරල් ගුණරත්න මහතා ප්‍රකාශ කළේය. රටට වැඩදායි පුරවැසියන් වී රටේ සංවර්ධනයට කටයුතු කරන ලෙස ශිෂ්‍යත්වලාභී දරුවන්ගෙන් ඔහු ඉල්ලා සිටියේය.
රණවිරු සේවා අධිකාරියේ උදාර සේවය අගය කළ ආරක්‍ෂක ලේකම්වරයා, රණවිරු පවුල්වල දරුවන්ට උපකාර කිරීම සඳහා ඉදිරිපත් වූ අනුග්‍රාහකයන් දැක්වූ කාරුණිකත්වය පිළිබඳව සිය ස්තුතිය පල කළේය.
අලුතින් හඳුන්වා දුන් මේ ශිෂ්‍යත්ව වැඩසටහනට රණවිරු සේවා අධිකාරියේ වත්මන් සභාපතිවරයාගේ මුලපිරීමෙන් මේ වන විට රුපියල් මිලියන 8.2 ක් ප්‍රදානය කර ඇත.
රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන් සහ ශිෂ්‍යත්වලාභීන්ගේ මව්පියන්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.