වෙරුගල්ආරු සිට කුමන මුහුදු තීරය තෙක් දියුණු කිරීමට වැඩසටහනක් සකසනවා
1980 දශකයේ දී මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා සේ නැඟෙනහිර සංවර්ධන ව්‍යාපෘතිය ද කඩිනම් කර රටේ ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඉන්දියාවේ සහාය ඇතිව ත්‍රිකුණාමලය මෙරට බලශක්ති, ප්‍රවාහන, වරාය, නාවුක, ගුවන්, කර්මාන්ත මෙන්ම සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ඉලක්කගත වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කළයුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ ඊයේ (24) පැවැති ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධනය පිළිබඳ විශේෂ රැස්වීමට එක් වෙමිනි.
දිස්ත්‍රික්කයේ පවතින රජයේ ඉඩම් සහ මහවැලි ඉඩම් කළමනාකරණය පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර 2019-2023 කාලසීමාව තුළ එම ඉඩම් ලබාදීම පිළිබඳ වාර්තාවක් සතියක් තුළ තමා වෙත දෙන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය.
සංවර්ධන ක්‍රියාදාමයේ ප්‍රමුඛ සාධකය ඉඩම් බවත්, එය නිසි කළමනාකරණයකින් පවත්වාගෙන නොගියහොත් අපේක්ෂිත සංවර්ධන ඉලක්ක සපුරාගත නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවැසීය.
එසේම තරගකාරි ලෙස ආගමික ස්ථාන ඉදිකිරීම නතර කළ යුතු බවත්, ඉදිරියේ දී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ආගමික ස්ථාන ඉදිකිරීමේ දී ආගමික නායකයන්, ආණ්ඩුකාරවරයා, දිස්ත්‍රික් දේශපාලන නායකයන් සහ රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳ තීරණයකට එළැඹිය යුතු බවටත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.
දැනට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංවර්ධනයට අදාළව සර්බානා ජුරෝන් සමාගමෙන් සැලැස්මක් සකස් කර තිබෙනවා. එම සැලැස්ම පදනම් කර ගනිමින් ත්‍රිකුණාමලය සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකාවත්, ඉන්දියාවත් අතර එකඟතාවකට පැමිණියා. අප එය ක්‍රියාත්මක කළ යුතුයි. එම සංවර්ධන සැලැස්මට අනුව වෙරුගල්ආරු සිට පානම, කුමන මුහුදු තීරය දියුණු කිරීමටත් වැඩසටහනක් සකස් කර තිබෙනවා. සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට මුහුදු තීරය භාවිත කිරීම එමගින් අපේක්ෂා කරනවා.
ඒ සමඟම මේ ප්‍රදේශයේ නවීන කෘෂිකර්මාන්තයක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. නැඟෙනහිර පළාතේ අනෙකුත් ප්‍රදේශත් මේ සඳහා එක් කරගත යුතුයි. එසේම මහවැලි අධිකාරිය සහ ඉඩම් දෙපාර්තමේන්තුවත් ඊට දායක කරගත යුතුයි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ධීවර, කෘෂිකර්මාන්ත සහ සංචාරක ක්ෂේත්‍රවල ඇති වන මෙම නව දියුණුවත් සමඟ ත්‍රිකුණාමල නගරය ප්‍රධාන වෙළෙඳ නගරයක් බවට පත් කළ යුතුයි. ත්‍රිකුණාමලයෙන් පසුව මඩකළපුවටත්, අම්පාරටත් එම සංවර්ධනය ගෙන යාම අපේ අරමුණයි. විශේෂයෙන් ඉඩම් ගැටලු නිරාකරණය කර ගනිමින් අප මෙම කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි. එහිදී මහවැලි ඉඩම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් ඒවා දියුණු කළ හැක්කේ කෙසේද කියා සොයා බැලිය යුතුයි.
එසේම ත්‍රිකුණාමල සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීමේ දී මහවැලි යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක වන 1985 සැලැස්මට අනුව තිබෙන ඉඩම් ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා. නමුත් නැඟෙනහිර පළාත තුළ ඇතැම් ඉඩම් කොටස් අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව ගැසට් කර තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. විවිධ ආගමික ස්ථාන සඳහාත් ඉඩම් වැඩි වශයෙන් ලබාදී තිබෙන බව සිදු කළ සමීක්ෂණයකදී අනාවරණය වුණා.
එම නිසා තරගකාරී ලෙස ආගමික ස්ථාන ඉදිකිරීම නතර කළ යුතුයි. එහිදී ආගමික නායකයන්, ආණ්ඩුකාරවරයා, පළාතේ දේශපාලන නායකයන් සහ රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කර නිවැරදි තීරණයකට එළැඹීම ඉතා වැදගත් බව කිව යුතුයි.
1985 දී මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී එඩිම්බරො ආදිපාදවරයා මෙහි පැමිණ ලබා දී තිබූ ඉඩම් මේ වන විට වනජීවී අමාත්‍යාංශය විසින් වනාන්තර ලෙස ගැසට් කර තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ වන ගහණය සියයට 32ක ප්‍රතිශතයකින් පවත්වාගෙන යා යුතුයි. එය එසේ පවතිද්දී අනෙක් ඉඩම් රටේ සංවර්ධන කටයුතු සඳහා යොදාගත යුතුයි.
අද සිංගප්පූරුව සහ ඩුබායි වැනි රටවල සංවර්ධන කටයුතු සඳහා ඉඩම් අසීමිත ලෙස යොදවා තිබෙනවා. මා පසුගියදා සිදු කළ සිංගප්පූරු සංචාරයේ දී එම රජය ශ්‍රී ලංකාවෙන් සහල් ඉල්ලා සිටියා. පසුගිය වසරේදී අප ඔවුන්ගෙන් සහල් ඉල්ලා සිටියා වගේම මේ වසරේ දී ඔවුන් අපෙන් සහල් ඉල්ලනවා.
ඒ නිසා නවීන කෘෂිකර්මාන්තය රට තුළ ඇතිකර කෘෂි නිෂ්පාදන තුළින් ලෝක ආර්ථිකය ජයගැනීමට අප කටයුතු කළ යුතුයි. ත්‍රිකුණාමලය සංවර්ධන සැලස්ම කඩිනමින් ක්‍රියාත්මක කර අප මෙම සංවර්ධන අරමුණු ජය ගැනීමට කටයුතු කරමු. ඒ සඳහා පළාතේ මහජන නියෝජිතයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු දෙනා කැපවනු ඇතැයි මා අපේක්ෂා කරනවා.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, නැඟෙනහිර පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරාල යන මහත්වරු ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් ද, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ගුවන් හමුදාපති වයිස් එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ යන මහත්වරු සහ පළාතේ රාජ්‍ය නිලධාරීහු රැසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.