රත්තොට උදලිමාන ප්‍රදේශයේ හෝටල් කාමරයකදී සිය වයෝවෘද්ධ මව දූෂණය කළ පුතකු රත්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මහියංගණයේ පදිංචි අවුරුදු 74ක් වයසැති මවක් මෙසේ දූෂණය කර ඇත්තේ 53 හැවිරිදි ඇගේ පුතා බව පොලිසිය කියයි.
මව විසින් රත්තොට පොලිසියට කළ පැමිණිල්ලට අනුව හෝටල් හිමිකරුවකු වන පුතාව රත්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදා (23) රාත්‍රී කාලයේදීය.
ඇය පොලිසියට පවසා ඇත්තේ මහියංගණයේ සිට රත්තොට උදලිමාන ප්‍රදේශයේ පිහිටි හෝටලයට සිය පුතාගේ දුක සැප විමසා බැලීමට ගොස් සිටියදී පසුගිය 02 වෙනිදා ඔහු තමාව දූෂණය කළ බවය. එම හෝටලය සිය පුතාට අයත් බව ඇය පොලිසියට පවසා ඇත. පුතාගේ බිරියත් දරුවාත් රැඳී සිටින්නේ එම හෝටලයේ බවත් තමාට පුතාගෙන් කරදර වූ දින ඔවුන් දෙදෙනා බෝගම්බර පිහිටි ඔවුන්ගේ නිවස වෙත ගොස් සිටි බවත් ඇය පොලිසියට පවසා ඇත.
පුතාගෙන් සිදුවූ මෙම කරදරය ගැන ඇය ඔහුගේ බිරියටත්, පුතාටත් පැවසූ විට ඒ අය තමාට තර්ජනය කරමින් ඒ ගැන කිසිවෙකුටත් නොපවසන ලෙස පැවසූ බවද ඇය පොලිසියට කියා තිබේ. මෙම පුතා මත්කුඩු ජාවාරමටකට සම්බන්ධ වූ අයකු බව පොලිසිය කියයි. ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු අධිකරණවල මේ වන විට විභාග වෙමින් ඇතැයි ද පොලිසිය කියයි.
සිය පුතාගේ අතින් දූෂණය වූ මව තමන්ට සිදුවූ මෙම කරදරය ගැන සෙසු දරුවන්ට පැවසූ විට ඒ අයගේ උපදෙස් මත පොලිසියට පැමිණිලි කර තිබෙන බව ද පොලිසිය කියයි.