Home » සක්විති පොරොන්දු වූ පරිදි මුදලේ දෙවන වාරිකය ගෙවයි

සක්විති පොරොන්දු වූ පරිදි මුදලේ දෙවන වාරිකය ගෙවයි

by mahesh
August 25, 2023 12:57 am 0 comment

රෝෂන් තුෂාර

සක්විති හවුස් කන්ට්‍රක්ෂන් මූල්‍ය ආයතනය පවත්වාගෙන යමින් ජනතාවගේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ සක්විති රණසිංහ ආපසු ගෙවීමට පොරොන්දු වූ මුදලේ දෙවන වාරිකය අධිකරණයේ ඊයේ (24) තැන්පත් කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ නඩුව කැඳවීමෙන් පසුව සක්විති රණසිංහ මහතා රුපියල් ලක්ෂ 50ක මුදලක් අධිකරණයේ තැන්පත් කළේය.

අභය රණසිංහ මුදියන්සේලාගේ නන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිය ජේ. කුමාරි අනුරාධි විත්තිකරුවන් විසින් 2006 නොවැම්බර් 01 සහ 2008 සැප්තැම්බර් 31 කාලය අතරතුර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් තැන්පතු ලෙස භාරගත්තේ යැයි කියන රුපියල් කෝටි 16කට අධික මුදලින් සියයට හැටක ප්‍රමාණයක් ජනතාවට ආපසු ගෙවීමට විත්තිකරුවන් විසින් පොරොන්දු වූ අතර, එම මුදල් වාරික වශයෙන් අධිකරණයට ගෙවීමටද එකඟ විය.

ඒ අනුව රුපියල් ලක්ෂ පනහ (50) බැගින් වූ වාරික විස්සකින් මුදල් ගෙවීමට විත්තිකරුවන් එකඟ වූ අතර, දෙවන වාරිකය වන රුපියල් ලක්ෂ 50ක් අධිකරණයේ ඊයේ තැන්පත් කළේය.

චෝදනාවේ අඩංගු මුදලින් සියයට 60ක මුදලක් ගෙවීමට විත්තිකරුවන් පොරොන්දු වීම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වය වන තැන්පත්කරුවන් ද එකඟත්වය ප්‍රකාශ කර ඇති බව අධිකරණයට කරුණු ඉදිරිපත් කෙරිණි.

තෙවන වාරික මුදල සැප්තැම්බර් මස 22 වන දින ගෙවන ලෙසට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

විත්තිකරුවන් වාරික වශයෙන් ගෙවන මුදල් මහ බැංකුවේ ගිණුමක තැන්පත් කර ජනතාවට ගෙවීමේ ක්‍රමයක් සැකසීමට කටයුතු කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ දමිතිනි ද සිල්වා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළාය. මහ බැංකුව හා නීතිපති දෙපාර්තමේන්තුව එක්ව එම කටයුතු සම්පාදනය කරන බවද සඳහන් කෙරිණි.

විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ රවීන්ද්‍ර සෙනරත් මහතා ඇතුළු පිරිසක් පෙනී සිටියහ.

අදාළ මුදල් පොරොන්දු පරිදි නිසි පරිදි ගෙවීමෙන් අනතුරුව දඬුවම් නියම කරන බව දන්වා සිටි මහාධිකරණ විනිසුරුවරයා එකඟතාවය පරිදි කටයුතු කළහොත් අත්හිටුවූ සිර දඬුවමක් වුව ලබාදීමට සලකා බලන බව දන්වා සිටියේය.

සක්විති රණසිංහ ඔහුගේ බිරිය හා සක්විති හවුස් කන්ට්‍රක්ෂන් මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ එකොළොස් දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබූ අතර, සෙසු විත්තිකරුවන් නඩුවෙන් මුදාහැරීමට නීතිපතිවරයා මීට පෙර තීරණය කර තිබිණි.

2006 නොවැම්බර් 01දින හා 2008 සැප්තැම්බර් 31 වන දින කාලය අතරතුරදී සක්විති හවුස් ආයතනය පවත්වාගෙන යමින් රුපියල් 164 185 000.00 තැන්පතු භාරගෙන සාපරාධී විශ්වාසය කඩකිරීම තුළින් දණ්ඩ නීති සංග්‍රහයේ 32 වගන්තිය සමඟ කියවිය යුතු 391 වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය යුතු වරදක් කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා මෙම නඩුව පැවරීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT