යම් බලයක් ක්‍රියාත්මක කරන නිලධාරියකු හෝ අධිකාරියක් සිය නීත්‍යනුකූල බල සීමාව ඉක්මවා එම බලය අභිබවා යමින් අත්තනෝමතික ලෙස අසාධාරණ ලෙස තීරණ ගන්නා හෝ නියෝග නිකුත් කරන අවස්ථාවන්වලදී එම අනීතික නියෝග ඉවත් කිරීමේ සහ බල රහිත කිරීමේ රිට් ආඥා නිකුත් කිරීමේ බලය මහාධිකරණයට පවතින බව අනුරාධපුර මහාධිකරණ විනිසුරු චින්තක ශ්‍රිනාත් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.
මහාධිකරණ විනිසුරුවරයා මේ බව කියා සිටියේ උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා සහ උතුරුමැද පළාත් ප්‍රධාන ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන් අට දෙෙනකුට එරෙහිව උතුරු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ පරිපාලන නිලධාරිවරයා අනුරාධපුර මහාධිකරණයට යොමු කර තිබූ රිට් පෙත්සමක් සළකා බලමිනි. මෙම පෙත්සම නීතිඥ ධනුෂ්ක දහම්පත් මහතා මඟින් ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව උතුරුමැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ පරිපාලන නිලධාරිවරයාට වැටුප් හා දීමනා වශයෙන් වැඩිපුර ගෙවා ඇති රුපියල් ලක්ෂ දහයක පමණ මුදලක් සමාන වාරික 72 කින් ඔහුගේ වැටුපෙන් අයකර ගන්න ලෙසට නියෝග කරමින් තුන්වන වගඋත්තරකරු වන උතුරුමැද පළාත් ප්‍රධාන ලේකම්වරයා නිකුත් කර ඇති ලේඛනය ක්‍රියාත්මක වීම අත්හිටුවමින් සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කළ මහාධිකරණ විනිසුරු චින්තක ශ්‍රිනාත් ගුණසේකර මහතා මෙම රිට් පෙත්සම විභාගයට අවසර ලබා දුන්නේය.
පෙත්සම්කාර පරිපාලන නිලධාරිවරයාට වැටුප් හා දීමනා ලෙස වැඩිපුර ගෙවා ඇති රුපියල් ලක්ෂ 10ක මුදල සමාන වාරික 72කින් ඔහුගේ වැටුපෙන් අය කර ගැනීමට නියෝග කරමින් 3 වන වගඋත්තරකරු වන උතුරුමැද පළාත් ප්‍රධාන ලේකම්වරයා නිකුත් කොට ඇති ලේඛනය ස්වභාවික යුක්තියේ මුලධර්ම අනුගමනය නොකර බලය ඉක්මවා යමින් නිකුත් කර ඇති ලේඛනයක් බව අධිකරණයට පෙනී යන බව මහාධිකරණ විනිසුරු චින්තක ශ්‍රිනාත් ගුණසේකර මහතා ස්වකීය තීන්දුව මඟින් තවදුරටත් සඳහන් කර ඇත.