දික්වැල්ල පන්සල් වත්තේදී මොරටු සංජීව නමැති පාතාල අපරාධකරුට වෙඩි තබා මරා දමා ඇත්තේ මාතර අධිකරණය භාරයේ තිබුණු හක්මන පොලිසියට අයත් ටී56 ගිනි අවියකින් බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
පසුගිය 15 දා සිදු වූ එම ඝාතනයේ උණුසුම මැකී යන්නත් මත්තෙන් ඒ වෙඩි තැබීමට යොදාගත් ටී56 අවිය දික්වැල්ල පොලිස් වසමේ දික්වැල්ල, උඩගංගොඩ, ඌරුගමුව ප්‍රදේශයේ සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගනු ලැබීය. වෙඩික්කරුවා වූ හිටපු කමාන්ඩෝ සෙබළාගේ නිවෙස පිහිටා ඇත්තේද ඒ ප්‍රදේශයේමය.
මේ ගිනි අවිය පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් දික්වැල්ල පොලීසියට භාරදී තිබිණි. පොලිසිය විසින් එහිදී එම අවියේ අනුක්‍රමික අංක ඔස්සේ මධ්‍යම අවි ගබඩාවෙන් කළ විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ එම පොලිස් දෙපාර්තමේන්තුවට නිකුත් කර ඇති ගිනි අවියක් බවයි. ඒ ගැන පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයෙන් කළ සොයා බැලීමේදී හෙළි වී ඇත්තේ එම ටී56 අවිය හක්මන පොලිස් ස්ථානයට නිකුත් කර ඇති එකක් බවයි. ඒ අනුව දික්වැල්ල පොලිසියේ නිලධාරීන් මෙම අවිය ගැන තොරතුරු හක්මන පොලිස් ස්ථානයෙන් සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ 2009 වසරේදී පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුමුවට පත් වීමක් සම්බන්ධයෙන් මේ ටී56 අවිය ඇතුළු පොලීසිය සතු ටී56 අවි දෙකක් සහ පිස්තෝලයක් එකලම අධිකරණය භාරයට ගෙන තිබී ඇති බවයි. එම අවි තුන රජයේ රස පරීක්ෂක වෙතද යොමු කර වාර්තාවක් ලබාගෙන ඇති බවත් පසුව නැවතත් අවි තුන තිබී ඇත්තේ මාතර පොලීසියේ නඩු භාණ්ඩයක් ලෙසිනි.
සෙසු අවි දෙක මේ වන විටත් මාතර අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ඇති බවත් වෙඩි තැබූ ගිනි අවිය අතුරුදන්ව ඇති බව තහවුරු වන බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීය. මෙම අවිය කුමන කාලයක අධිකරණ නඩු භාණ්ඩ ගබඩාවෙන් පන්නා තිබේදැයි පැහැදිලි තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැත. ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භකර ඇති බවත් තවත් මෙවැනි අපරාධ සඳහා එම අවිය භාවිතාකර තිබේදැයි කියා විමර්ශන පවත්වන බවත් ඒ උසස් පොලිස් නිලධාරියා කීය.
ඇඹිලිපිටිය අධිකරණයේ නඩු භාණ්ඩයක් ලෙස තිබුණු ගොඩකවෙල පොලිස් ස්ථානයට අයත් ටී56 අවියක් අතුරුදන්වීමක් සම්බන්ධයෙන්ද ඇඹිලිපිටිය පොලීසිය විමර්ශනයක් මේ වන විට පවත්වනු ලබයි. එම අවිය 2005 වසරේ ඔක්තෝබර් 25 වෙනිදා අධිකරණය භාරයට ගෙන තිබූවක් බවත් එය අස්ථානගතව ඇතැයි හෙළිවන්නේ ගිනි අවිය නැවත පොලිසියට මුදා හරින ලෙස අධිකරණයේ ගබඩාභාරකරු වෙත 2022 දෙසැම්බර් 28 දා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගයකට අනුව ගිනි අවිය පොලිසියට භාර දීමට සොයන විටදීය. එම අවිය මෙතෙක් සොයාගෙන නැත.