Home » තිරික්කල් රේස් ජය ගත් කින්නියා ගවයකු කොන්ත්‍රාත්තුවක් දී ගව ඝාතකාගාරයකට මසට විකුණලා

තිරික්කල් රේස් ජය ගත් කින්නියා ගවයකු කොන්ත්‍රාත්තුවක් දී ගව ඝාතකාගාරයකට මසට විකුණලා

ලක්ෂ 12ක් වටිනා කින්නියා ගවයා මස් පිණිස අලෙවි කර ඇත්තේ 185,000කට

by mahesh
August 25, 2023 12:55 am 0 comment

පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක බණ්ඩාරගම - බිමල් ජයසිංහ

තිරික්කල් රේස් තරගවල මේ දිනවල ඉදිරියෙන් සිටිමින් තරග ජයගන්නා දක්ෂ කින්නියා ගවයකු කොන්ත්‍රාත්තුවක්දී ගව ඝාතකාගාරයකට මසට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (23) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

බණ්ඩාරගම අලුත්ගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් කළ පැමිණිල්ලක් මත සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.

ඉතා හොඳින් වැඩී ඇති රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනාකමකින් යුත් කින්නියා ගවයා මස් පිණිස අලෙවි කර ඇත්තේ රුපියල් එක්ලක්ෂ අසූපන් දහසකට බව ද පොලිසිය පවසයි.

බණ්ඩාරගම, අලුත්ගම ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරු සහ පළමු සැකකරු මුදල් ඔට්ටුවට පවත්වන තිරික්කල් රේස් සඳහා සහභාගී වන මිතුරන් දෙදෙනෙකු බවත්, කොන්ත්‍රාත්තුවක් ලබාදී ඝාතනය කර ඇති ගවයා පසුගිය දිනවල පැවතී සියලු තරග වලින් ජයගෙන ඇති බවත් සදහන් වේ. එයින් වෛරයක් ගොඩනැඟී ඇති අනෙක් මිතුරා දෙවන සැකකරුට කොන්ත්‍රාත්තුවක් දී එම දක්ෂ ගවයා මස් පිණිස කළුතර ප්‍රදේශයේ ගව ඝාතකාගාරයක් වෙත අලෙවි කිරීමට කටයුතු කර තිබූ බව පොලිසිය පවසයි.

එවැනි ගවයෙකු නඩත්තු කිරීම සඳහා මාමයිට්, විවිධ ඖෂධ සහ කොල්ලු ඇතුළු දෑ ලබාදී නඩත්තු කිරීම සඳහා මසකට රුපියල් පනස් දහසක් පමණ වැයකරන බවත් සඳහන් වේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම සහ අටුළුගම ප්‍රදේශයේ පදිංචි 40 සහ 25 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය පවසයි.

සැකකරුවන් පාණදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT