කූට ලෙස සකස් කළ ව්‍යාජ කැනඩා වීසා බලපත්‍රයක් උපයෝගී කරගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හරහා කැනඩාවට පලායාමට තැත් කළ පුද්ගලයෙකු 08/23 දින රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු වාර කීපයක් විදේශගත වී ඇති පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කරනැවෑමියෙකි.
ඔහු රාත්‍රී 06.25ට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 225 දරන ගුවන් යානයට ඩුබායි බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.
එහිදී ගුවන් සේවා නිෂ්කාශන කටයුතු සිදු කර ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවා කවුළුව වෙත පැමිණ සිටි මොහු ඉදිරිපත් කළ කැනඩා වීසා බලපත්‍රය පිළිබඳව සැක සිතූ එම ගුවන් සේවා නිලධාරීන්, මෙම පුද්ගලයා සහ ඔහු ඉදිරිපත් කළ ලියකියවිලි සියල්ල ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.
එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂාවලදී මෙම වීසා බලපත්‍රය කූට ලෙස සකස් කළ එකක් බවට සනාථ වීමත් සමඟම ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් ආගමන විගමන නිලධාරීන් විසින් සිදු කර තිබේ.
එහිදී මෙම වීසා බලපත්‍රය රුපියල් ලක්ෂ 45ක් තැරැව්කරුවෙකු වෙත ලබා දී සකස් කර ගත් බව අනාවරණය වී තිබේ.
එම අවස්ථාවේ ශ්‍රී ලංකාවේ කැනඩා තානාපති කාර්යාලයේ ගුවන්තොටුපොළ සම්බන්ධීකරණ නිලධාරිවරයා ද එම ස්ථානයේ සිටි අතර, ඔහු විසින් ද මෙම වීසා බලපත්‍රය පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව, මෙය කූට ලෙස සකස් කළ ව්‍යාජ වීසා බලපත්‍රයක් බව සනාථ කර තිබේ.
ඉන්පසුව මෙම පුද්ගලයා ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත වැඩිදුර විමර්ශන කටයුතු සඳහා භාර දී තිබේ.