Home » සංවහන වැසි යොදාගනිමින් වී වගා කටයුතු කිරීමට අවධානය

සංවහන වැසි යොදාගනිමින් වී වගා කටයුතු කිරීමට අවධානය

by chanaka
August 31, 2023 4:10 pm 0 comment

දැනට පැසිපික් සාගරයේ පවතින එල් නිනෝ ක්‍රියාවලිය හේතුවෙන් මෙරටට බලපා ඇති නියඟය තත්ත්වය සැළකිල්ලට ගනිමින් ඉදිරි මහ කන්නයේ වගා කටයුතු සිදු කළ යුතු ආකාරය ගැන කෘෂිකර්ම අමාත්‍යාංශය අවධානය යොමු කර තිබේ.

එළැඹෙන මහ කන්නයේ ඊසාන දිග මෝසම් වර්ෂාව සක්‍රිය වීමට පෙර ගොවිතැන් කටයුතු ඇරඹීම සඳහා මුලික කටයුතු එනම් ඇළ වේලි සුද්ද කිරීම, නියරවල් හෙළි පෙහෙළි කිරීම මෙන්ම මාස් මෝසමට පෙර ඇද හැලෙන සංවහන වැසි යොදා ගනිමින් මුළික බිම් සැකසුම් කටයුතු ආරම්භ කිරීමට ගොවි ජනතාව දැනුම්වත් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අද (31) උපදෙස් දුන්නේය.

විශේෂඥ අදහස් අනුව මෙවර මහ කන්නයේ දී විශේෂයෙන් ඔක්තෝබර් හා නොවැම්බර් මාසවල අධික වර්ෂාපතනයක් ලැබීමට බොහෝ ඉඩකඩ පවතී. එහෙත් ලබන වසරේ ජනවාරි සිට නැවතත් වියළි කාලගුණික තත්ත්වයක් ඇති විය හැකි බැවින් හැකි තරම් ජලය කළමනාකරණය කර ගැනීම සදහා මෙම පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබීය.

මේ අතර ඊයේ (30) වනවිට වාර්තා වී ඇති වී හා අතිරේක බෝග වගා හානි කුඹුරු අක්කර ප්‍රමාණය 59,073. 98ක් දක්වා ඉහළ ගොස් ඇත. හානි සිදුවී ඇති ගොවීන් ප්‍රමාණය 54,152කි.

ඊයේ වනවිට ද වැඩිම වගාහානි ප්‍රමාණය කුරුණැගල දිස්ත්‍රික්කයේ වාර්තා වේ. අක්කර ප්‍රමාණය 26,195.90කි. ගොවීන් ප්‍රමාණය 31,427කි.

දෙවන ස්ථානයට වැඩිම හානි උඩවලවේ කළාපයෙන් වාර්තා වේ. ඒ අනුව අක්කර ප්‍රමාණය 14,667.50ක් වන අතර ගොවීන් ප්‍රමාණය 5,867කි.

මේ අතර දැනට සිදුව තිබෙන වගා හානි සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින විෂය පථය යටතේ වැවිලි බෝග සදහා (කුරුදු, රබර්, ‌තේ, ගම්මිරිස් හා පොල් වැනි) වන්දි ලබා දීමේ හැකියාවක් හෝ මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමේ හැකියාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයට නැත. එම වගකීම ඇත්තේ වෙනත් අමාත්‍යාංශයකටය.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිබෙන කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය යටතේ වගා හානි වන්දි ලබා දීම සිදු කළ හැක්කේ බෝගවර්ග හයක් (06) ක් සඳහා පමණි. වී, බඩඉරිඟු, මිරිස්, අර්තාපල්, බී ලූණු, හා සෝයා බෝංචි එම බෝග වර්ග හයයි. සාමාන්‍ය රක්ෂණ ක්‍රමය යටතේ මෙම බෝග හය සඳහා වගා හානියක දී අක්කරයකට රුපියල් 40,000ක් බැගින් හෙක්ටයාර් එකකට රුපියල් 100,000ක මුදලක් වන්දි වශයෙන් ලබා දෙයි.

මෙම මුදල රජය විසින් වාරිකය මුදලකින් තොරව නොමිලයේ ලබා දෙන වන්දි මුදලක් වේ.

මීට අමතරව ගොවින් විසින් කන්නයකට මෙම බෝග සඳහා රුපියල් 6400ක වාරිකයක් ගෙවීම මගින් වගා හානියක දී අක්කරයකට රුපියල් ලක්ෂයක් බැගින් හෙක්ටයාර් එකක් සඳහා රුපියල් ලක්ෂ දෙකහමාරක වන්දි මුදලක් ලබා ගැනීමට හැකි වැඩ පිළිවෙළක් මේ වනවිට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ආරම්භ කර තිබේ.

මෙවර යල කන්නයේ වී වගාවට සිදුව ඇති හානිය සුවිශේෂිත බැවින් ඊට වඩා වන්දි මුදලක් ගෙවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරයි.

දැනට සිදු කෙරෙන වගා හානි තක්සේරු කිරීම් අවසන් වූ වහාම සමස්ත වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර මහ කන්නය ආරම්භ වීමට ප්‍රථම අදාල වගා හානි වන්දි ලබා දීම සිදු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT