Home » ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් යාපනයේ අසිරිය ලොවට පෙන්වන සුවිශේෂී වැඩසටහනක්

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් යාපනයේ අසිරිය ලොවට පෙන්වන සුවිශේෂී වැඩසටහනක්

by chanaka
August 31, 2023 4:54 pm 0 comment

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය මෙන්ම ජාත්‍යන්තර oneworld සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැංවීමේ මෙහෙවර තවදුරටත් ඉදිරියට ගෙන යමින් ‘The Colours of Jaffna’ නමින් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකාවේ උතුරු පළාතට ආවේණික වූ සූපශාස්ත්‍ර හා ගෘහ නිර්මාණ ලක්ෂණ ඇතුළුව සංස්කෘතික හා සමාජයීය සුවිශේෂීත්වයන් ලොවට පෙන්වා දෙමින්, එම ලක්ෂණ සියැසින් දැකබලාගැනීමට පැමිණෙන ලෙසට සංචාරකයන්ට ආරාධනා කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

යාපනය නගරය සංස්කෘතික ආශ්චර්යයන්ගෙන් වර්ණවත් කරමින් දින 20 ත් 25 ත් අතර කාලයක් පුරා පැවැත්වෙන ජාතික උත්සවයක් වන ඓතිහාසික නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික උත්සවය මේ වනවිට ආරම්භ වී ඇති අතර, එය මූලික කරගනිමින් මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

මෙහි පළමු අදියර වශයෙන්, යාපනය ප්‍රදේශයට ආවේණික වූ සුවිශේෂී ලක්ෂණ විදහා පෙන්වන වීඩියෝවක් එළිදක්වන ලද අතර, ඉදිරියේදී යාපනයේ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන පිළිබඳව දැනුම හා අවබෝධය පුළුල් කිරීම සඳහා තවත් වැඩසටහන් මාලාවක් සහ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් ක්‍රියාවට නැංවෙනු ඇත. මෙම ප්‍රධාන ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව, ශ්‍රීලංකන් ගුවන් සේවයේ සංචාරක සේවා අංශය වන SriLankan Holidays විසින් Jetwing Hotels සමග එක් වී, යාපනය ප්‍රදේශයේ සුවිශේෂී බව වඩාත් පහසුවෙන් අත්විඳීමට හැකි වන ආකාරයේ හෝටල් පැකේජ් කිහිපයක්ද හඳුන්වා දී තිබේ. ඉදිරියේදී යාපනයේ සුවිශේෂීත්වය තම රසික රසිකාවියන්ට පෙන්වා දීම සඳහා නිර්මාණකරුවන් සහ සමාජ මාධ්‍ය තරු රැසක්ද ශ්‍රීලංකන් ගුවන් සේවය සමග අත්වැල් බැඳගනීමට නියමිත ය.

ශ්‍රීලංකන් ගුවන් සේවය වැඩිම ගුවන් ගමන් වාර සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරන රට වන ඉන්දියාව ඇතුළුව, ශ්‍රීලංකන් ජාලයට අයත් සියලුම රටවල ‘The Colours of Jaffna’ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මේ වනවිට ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දියාවේ නගර 9 ක් වෙත සතියකට ගුවන් ගමන් වාර 80 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරයි.

මීට අමතරව ශ්‍රී ලංකාවේ මේ වනවිට පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙන්ම, මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය ඉලක්ක කරගනිමින් ශ්‍රීලංකන් ගුවන් සේවය තවත් ප්‍රවර්ධන වැඩසටහන් පෙළක් ක්‍රියාවට නංවා තිබේ. මේ උත්සව සියල්ල, ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සංචාරකයන්ට විවිධත්වයෙන් අනූන, කිසිදා අමතක නොවන අත්දැකීම් පෙළක් හිමිකර ගැනීමට අවස්ථාව උදාකර දෙනු නිසැක ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT