Monday, May 5, 2025
Home » චීන වාණිජ ඇමති සහ අමෙරිකා වාණිජ ලේකම්වරිය අතර සාකච්ඡා

චීන වාණිජ ඇමති සහ අමෙරිකා වාණිජ ලේකම්වරිය අතර සාකච්ඡා

by chanaka
August 31, 2023 3:59 pm 0 comment

චීන වාණිජ අමාත්‍ය වං වෙන්තාවෝ මහතා, බෙයිජිං නගරයේ සංචාරයක නිරත ඇමරිකානු වාණිජ ලේකම් ජිනා මේරි රයිමොන්ඩෝ මහත්මිය සමඟ සාකච්ඡා පවත්වයි. එය ඊයේ (28) පැවැත්විණ.

චීන-ඇමරිකානු ආර්ථීක හා වෙළඳ සබඳතාව මෙන්ම පොදු අවධානය යොමු වන කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශ්වය මෙහිදී අදහස් හුවමාරු කර තිබේ.

ආර්ථීක හා වෙළඳ සහයෝගිතාව, දෙරට අතර සම්බන්ධතාවේ මූලික කරුණක් බව වෙන්තාවෝ මහතා එහිදී ප්‍රකාශ කළේය.ඇමරිකාව චීනයට එරෙහිව පනවා ඇති තීරුබදු, අර්ධ සන්නායක ප්‍රතිපත්ති, ද්වි-මාර්ග ආයෝජන සීමා කිරීම් හා චීන ව්‍යවසායන්ට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් චීනයේ දැඩි කනස්සල්ල ද හෙතෙම පළ කළේය.

ඒකපාර්ශ්වික සහ අනිසි ආරක්ෂණවාදී පියවර ක්‍රියාත්මක කිරීම වෙළඳපොළ නීතිවලට සහ සාධාරණ තරඟකාරිත්ව මූලධර්මයන්ට අනුකූල නොවේ. එම ක්‍රියාවන් ගෝලීය කාර්මික සහ සැපයුම් දාමවල ආරක්ෂාව හා ස්ථාවරත්වයට හානි කරනු ඇතැයි ද චීන වාණිජ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ආර්ථීක හා වෙළඳ ක්ෂේත්‍රයේ විවෘත මෙන්ම ඵලදායී සංවාද පැවැත්වීමේ වැදගත්කම අවබෝධ කරගත යුතු බව ද දෙරට වාණිජ බලධාරීහු දෙපළ මෙහිදී අවධාරණය කළහ. චීන – ඇමරිකානු වාණිජ අමාත්‍යාංශ අතර නව හුවමාරු වේදිකාවක් ස්ථාපනය කෙරෙන බව ද ප්‍රකාශ කෙරිණ.

එසේම, අපනයන සීමා කිරීමේ තොරතුරු හුවමාරු යාන්ත්‍රණයක් ආරම්භ කර, දෙරට නීතිවලට අනුව එම සීමා පිළිබඳ අදහස් බෙදාගැනීමට ද නියමිතයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT