නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් වත්ත පහළ කොටස එන්.සී. කොටසේ තේ පඳුරු තුළ විශාල වළවල් හාරා මැණික් ඉල්ලම් ගොඩගෙන ඇති බැවින් තේ වත්තේ වැඩ කිරීම අවදානම් බව පවසමින් එම වතුයායේ වතු කම්කරුවන් පිරිසක් පසුගියදා (29) වැඩ වර්ජනයක නිරත වූහ.
ඔවුන් පෙන්වා දෙන්නේ, නොර්වුඩ් පොදු සුසාන භූමියට සහ ආදාහනාගාරයට පිවිසෙන මාර්ගයේ දෙපස පිහිටි තේ වත්තේ තේ පඳුරු යට විශාල වළවල් හාරා එම මැණික් ඉල්ලම් සහිත පස් කිසියම් පිරිසක් විසින් රැගෙන ගොස් ඇති බවත්, එසේ තේ පදුරු මත වලවල් හැරීම නිසා සරුසාර තේ ඉඩමේ තේ ගස් කිහිපයක් ද මැණික් ජාවාරම්කරුවන් විසින් ගලවා රැගෙන ගොස් ඇති බවත්ය. පසුගිය දින කිහිපය තුළ නොර්වුඩ් ප්‍රදේශයේ මැණික් ජාවාරම්කරුවන් පිරිසක් විසින් මෙම අනවසර මැණික් ගැරීම සිදු කරනු ලබන බවත්, තම තේ වත්තට සහ නොර්වුඩ් ආදාහනාගාරයට සහ පොදු සුසාන භුමියට පිවිසෙන මාර්ගයේ ද විශාල වළවල් හාරා ඉල්ලම් සහිත පස් රැගෙන ගොස් ඇති බවත් වතු කම්කරුවෝ පෙන්වා දුන්හ. තම තේ වත්තේ අනවසරයෙන් මැණික් ගැරීම නතර කිරීමට නොර්වුඩ් පොලිසියට පියවර නොගතහොත් තමන් අඛණ්ඩව වැඩවර්ජනයේ නිරත වන බව ද ඔවුහු කියා සිටියහ.
මෙම අනවසර මැණික් ගැරීම සම්බන්ධයෙන් නොර්වුඩ් වතු පාලන අධිකාරිය මගින් නොර්වුඩ් පොලිසියට ද පැමිණිලි කිහිපයක් කර ඇති අතර, උද්ඝෝෂණයේ නිරත වූ වතු කම්කරුවන් සමඟ සාකච්ඡා කිරීමට නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.බී.කොහොල්දෙණිය මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ මෙම අනවසර මැණික් ගැරීම නතර කිරීමට සහ එම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවට වතු කම්කරුවන් හමුවේ පැවසීමෙන් අනතුරුව පිරිස සමාකාමී ලෙස විසිර ගියහ.
කියා හැටන් – රංජිත් රාජපක්ෂ