Home » ආගමික සිද්ධස්ථාන හා පුරාවිද්‍යාත්මක ස්ථාන සුරක්ෂිත කිරීමට රජය කැප වී සිටිනවා

ආගමික සිද්ධස්ථාන හා පුරාවිද්‍යාත්මක ස්ථාන සුරක්ෂිත කිරීමට රජය කැප වී සිටිනවා

මහසඟරුවන හමුවේ ජනපති අවධාරණය කරයි

by gayan
August 31, 2023 1:00 am 0 comment

ආගමික සිද්ධස්ථාන මෙන්ම පුරාවිද්‍යාත්මක ස්ථානද සුරක්ෂිත කිරීමට රජය කැප වී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. උතුරු සහ නැඟෙනහිර ආගමික ගැටලු සොයා බැලීමට ඒ ඒ පළාත්වල ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන් කමිටු පිහිටුවන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ඔහු මේ බව සඳහන් කළේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී හිමිපාණන් වහන්සේ පෙරේදා (29) බැහැදුටු අවස්ථාවේය.

එදින ඓතිහාසික මහනුවර ප්‍රදේශයට පැමිණි ජනාධිපතිවරයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ගත්තේය. අනතුරුව මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි අනුනායක හිමිවරුන්ද බැහැදුටු ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී හිමිපාණන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදී කෘෂි නවීකරණ වැඩසටහන ඇතුළු රටේ ආර්ථිකය නඟාසිටුවීමට රජය ගෙන යන ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ පිළිබඳව උන් වහන්සේ දැනුම්වත් කළේය.

එහිදී ජනාධිපතිවරයා මෙසේද කීය:

“බෞද්ධ සිද්ධස්ථාන සියල්ල ආරක්ෂා කිරීමට අප කැප වී සිටිනවා. උතුරේ කුරුන්දි විහාරයේ ගැටලුව විසඳීමට අප කටයුතු කරමින් සිටිනවා. පිටින් කවුරුත් ගෙන එන්න එපා කියා ඒ ප්‍රදේශයේ සිංහල, මුස්ලිම් හා දෙමළ ජනතාව එකඟ වී තිබෙනවා. මීට පෙර එම ප්‍රදේශයේ සියලු ජන කොටස් සමඟියෙන් ජීවත් වුණා. පිටස්තර කණ්ඩායම් පැමිණීමත් සමග මෙම ගැටලු මතු වී තිබෙනවා. වවුනියාවේ අපේ නායක ස්වාමීන්වහන්සේවත් මේ පිළිබඳ දැනුම්වත් කර තිබෙනවා. ඒ නිසා අප පිටස්තරින් කිසිවෙකුට එම ප්‍රදේශයට යෑමට අවස්ථාව දෙන්නේ නැහැ. මේ සියලු කටයුතු සොයා බැලීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා. එහිදී පුරාවිද්‍යා පනතට අනුව කටයුතු කිරීමටත් උපදෙස් දී තිබෙනවා. ඒ වගේම මහා විහාරයේ කැනීම් කටයුතු සිදු කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. උතුරේ සිදු වන කැණීම් කටයුතුවලද වාර්තා ලබාගනිමින් එම කටයුතු ඉදිරියට කරගෙන යනවා. පැවති රජය විසින් හමුදාව යොදවා කැණීම් කටයුතු කඩිනමින් සිදු කළ බව ඔබ වහන්සේ මෙහිදී ප්‍රකාශ කළා. ඒත් ඒ පිළිබඳ පරීක්ෂා කර තවම තීරණයක් දී නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දෙන තීරණය අනුව කටයුතු කිරීමට අප අපේක්ෂා කරනවා. ඒ වගේම එම ප්‍රදේශ ආරක්ෂා කිරීමට අප කටයුතු කරන බවද කිව යුතුයි. එමෙන්ම සියලු බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කිරීමට අප කටයුතු කරනවා. පළමුවෙන්ම පුරාවිද්‍යා ස්ථාන සොයාගත කළ යුතුයි. ඉන් අනතුරුව අප ඒ පිළිබඳ විමර්ශන සිදු කරනවා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් අනෙකුත් ආගම්වලද ගැටලු තිබෙනවා නම් ඒ පිළිබඳවද අප අවධානය යොමු කරනවා. ඒත් කිසිවකුට පිටතින් පැමිණ ගැටලු ඇති කිරීමට අප කිසිදු අවස්ථාවක ඉඩ තබන්නේ නැහැ. එම ගැටලුකාරි තත්ත්වයන්ට විසඳුම් සෙවීමට ඒ ඒ පළාත්වල ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන් කමිටු පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ආගමික නායකයන් එකතු වී කටයුතු කරනවා නම් මෙවැනි ගැටුම් නිර්මාණය වන්නේ නැහැ.

“ඒ වගේම නව පනත් සම්පාදනය පිළිබඳවද මේ වන විට බුද්ධ ශාසන අමාත්‍යාංශය සාකච්ඡා කරමින් සිටිනවා. ඒ පිළිබඳ මල්වතු පාර්ශ්වයෙන් හා අස්ගිරි පාර්ශ්වයෙන් සන්නසක් භාර දුන්නා. ඒ වගේම අනෙකුත් නිකායවලිනුත් යෝජනා සහ අදහස් ඉල්ලා තිබෙනවා. ඊට අමතරව රටේ ඉඩම් පරිහරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තික් සැකසිය යුතුයි. ඒ අනුව ඉඩම් භාවිතය පිළිබඳ නිශ්චිත නිගමනවලට පැමිණිය හැකියි. ඉඩම් සම්බන්ධයෙන් වෙනත් සංශෝධන කිසිවක් මෙහිදී අප සිදු කර නැහැ. ඉඩම් පිළිබඳ නීති සම්පාදනය කිරීම ජාතික මට්ටමින් සිදු කළ යුතුයි. එය ක්‍රියාත්මක කිරීම පළාත් සභාවට භාර දෙනවා. ජාතික ඉඩම් කොමිසම ගන්නා තීරණය අනුව ඒ වැඩකටයුතු ඉදිරියට පවත්වාගෙන යා යුතුයි.“

හිටපු ඇමැති මලික් සමරවික්‍රම මහතාද මේ අවස්ථාවට එක්ව සිටියේය.

ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT