Home » මහනුවර පෙරහර නිම කිරීමේ සන්දේශය අද ජනපතිට

මහනුවර පෙරහර නිම කිරීමේ සන්දේශය අද ජනපතිට

by gayan
August 31, 2023 1:00 am 0 comment

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පෞරාණික චාරිත්‍රවලට ගරු කරමින් සාර්ථකව පවත්වා අවසන් කළ බව දැක්වෙන පෙරහර සංදේශය සම්ප්‍රදායානුකූලව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපතිවරයා වෙත භාර දීම අද (31) පස්වරුවේ මහනුවර ජනපති මැදුරේදී සිදු කෙරෙයි.

දවල් පෙරහර නිම වීමෙන් පසු දියවඩන නිලමේ ප්‍රමුඛ සතර මහා දේවාල සහ පිටිසර දේවාල බස්නායක නිලමේවරු පෙරහර සංදේශය රැගෙන පෙරහරින් ජනපති මැදුර වෙත ගමන් ගනී. මහනුවර ඇසළ මංගල්‍යය නිල වශයෙන් නිමාවට පත් වන්නේ පෙරහර සංදේශය ජනාධිපතිවරයාට භාර දීමෙන් පසුවය. අනතුරුව මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සඳහා දළදා මාළිගාව සහ සතර මහා දේවාල නියෝජනය කරමින් විශිෂ්ට දක්ෂතා දැක්වූ කලා ශිල්පීන් අගයමින් ජනපති සම්මාන ප්‍රදානය කිරීම ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය. මේ අවස්ථාවට පළාත් ආණ්ඩුකාරවරු, මැති ඇමැතිවරු, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වනු ඇත.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දවල් පෙරහර උතුරු දිශාභිමුඛව අද (31) පෙරවරු 11.59ට ගණදෙවි කෝවිලෙන් ආරම්භ වෙයි. සතර මහා දේවාල පෙරහර ගණදෙවි කෝවිලෙන් පිටත්ව කටුකැලේ වීදිය, දළදා වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, කන්දේ වීදිය ඔස්සේ ගමන් ගෙන ඩී.එස්. සේනානායක වීදියට පැමිණෙයි. අස්ගිරි ගෙඩියේ විහාරයෙන් පස්වරු 1.16ට පිටත්වන දළදා මාළිගාවේ පෙරහර හා දේවාල පෙරහර ඩී.එස්. සේනානායක වීදියේදී සම්බන්ධ වෙයි. පසුව දළදා මාළිගා පෙරහර පෙරටු කරගත් සතර මහා දේවාල පෙරහර ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදිය දිගේ ඉහළට පැමිණ මාළිගා චතුරස්‍රයේ තෙවිටක් ප්‍රදක්ෂිණා කොට ගෙවදීමට නියමිතය.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT