Home » සාන්ත අන්තෝනි බාලිකාවේ හිටපු විදුහල්පතිනියගෙන් ප්‍රතිශෝධන අයදුම් පතක්
කූට ලේඛන හදා ළමයින් ගැනීම:

සාන්ත අන්තෝනි බාලිකාවේ හිටපු විදුහල්පතිනියගෙන් ප්‍රතිශෝධන අයදුම් පතක්

by mahesh
September 1, 2023 1:00 am 0 comment

අසේල කුරුළුවංශ

තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් කටුගස්තොට සාන්ත අන්තෝනි බාලිකාවේ හිටපු විදුහල්පතිනිය ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඇය නීතිඥයන් මඟින් එකී තීන්දුව සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණයට ප්‍රතිශෝධන අයදුම් පත්‍රයක් ඉදිරිපත් කර තිබේ.

සාන්ත අන්තෝනි බාලිකාවේ අතරමැදි පන්තිවලට කූට ලේඛන උපයෝගි කරගනිමින් ළමුන් 29 දෙනෙකු ඇතුළත් කර තිබෙන බවට ලද පැමිණිලි මත සිදුකළ විමර්ශනයේ දී හිටපු විදුහල්පතිනිය වන පී.කේ.ආර්. රණසිංහ නමැති අයද ඊට සම්බන්ධ බවට කරුණු අනාවරණය වීම නිසා සිද්ධියේ සැකකාරියක ලෙස පොලිසිය විසින් ඇය නම් කරනු ලැබීය. ඉන් පසු තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් හිටපු විදුහල්පතිනිය අපේක්ෂිත ඇපයක් අධිකරණයෙන් ඉල්ලා සිටියාය. එය මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් පසු ඇය නීතිඥයින් මඟින් අදාළ ප්‍රතිශෝධන අයදුම් පත මහනුවර මහාධිකරණයට ඉදිරිපත් කළ අතර, ඊට අදාළව විත්ති පාර්ශ්වය ලෙස නම් කර තිබූ පොලිසිය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය 23 දින අධිකරණයට කරුණු දැක්වීය. මේ සම්බන්ධ විවාදය අද (1) මහනුවර මහාධිකරණයේදී සිදු කිරීමට නියමිත අතර, මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.එම්.එස්. උවින්දසිරි මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් හෙට්ටිආරච්චි මහතා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT