Home » ජොහැන්නස්බර්ග් නුවර ගොඩනැඟිල්ලක් ගිනිබත් වෙයි

ජොහැන්නස්බර්ග් නුවර ගොඩනැඟිල්ලක් ගිනිබත් වෙයි

සරණාගතයෝ 70කට වැඩි පිරිසක් මරුට

by mahesh
September 1, 2023 1:00 am 0 comment

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර මහල් පහකින් සමන්විත ගොඩනැඟිල්ලක් ගිනි ගැනීමෙන් එහි සිටි බව කියන සරණාගතයන් 70කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අසල්වැසි රටවලින් පැමිණ සිටි නිවාස අහිමි සරණාගතයන් මේ ගොඩනැඟිල්ලේ ජීවත්ව සිටි බවට තොරතුරු වාර්තා වී ඇති අතර, ගොඩනැඟිල්ල ගිනි ගැනීමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයන් 50කට වැඩි පිරිසක් රෝහල්ගත කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම ගොඩනැඟිල්ල ගිනි ගන්නා මොහොතේදී සරණාගතයන් 200කට වැඩි පිරිසක් එහි සිටි බව ද සඳහන් වේ.

ඊයේ අලුයම මේ ගින්න හටගෙන ඇතැයි ද, ඉන් මුළු ගොඩනැඟිල්ලම විනාශ වී ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කර තිබේ. තුවාල ලැබූ පිරිස් සහ මළසිරුරු සොයා එරට ගිනි නිවන හමුදාව, පොලිසිය හා මෙහෙයුම් කණ්ඩායම් අඛණ්ඩව මෙහෙයුම් සිදු කරන බව ද වාර්තා වේ. සිදුවීම ඇසින් දුටු පුද්ගලයන් වාර්තාකරුවන්ට ප්‍රකාශ කර ඇත්තේ ගිනිගෙන දැවෙන ගොඩනැඟිල්ලේ කවුළු තුළින් බොහෝ පිරිස් බිමට පනිනු දුටු බවය.

භාවිතයට නොගෙන හැර දමා ඇති මෙවැනි ගොඩනැඟිලි රාශියක් සරණාගත කණ්ඩායම් විසින් අත්පත් කරගනු ලැබූ බවත්, ඔවුන් එම ගොඩනැඟිලිවල කාලයක් පුරා පදිංචිව සිටින බවත් වැඩිදුරටත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT