Home » නව මිනුම්පති ඩබ්. සුදත් එල්. සී. පෙරේරා

නව මිනුම්පති ඩබ්. සුදත් එල්. සී. පෙරේරා

by mahesh
September 1, 2023 1:00 am 0 comment

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අතිරේක මිනුම්පතිවරයෙකු ලෙස කටයුතු කළ ඩබ්. සුදත් එල්. සී. පෙරේරා මහතා අගෝස්තු මස තිස්වන දින සිට මිනුම්පති ධුරයේ වැඩ භාර ගත්තේය.

වැලිකඩ ගම්/ ධර්මපාල ප්‍රාථමික විද්‍යාලයෙන් ඉගෙනුම අරඹා ද්විතීය අධ්‍යාපනය මීගමුව ගම්/ ශාන්ත මරියා විද්‍යාලයෙන් ලැබූ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධාරියෙකි.

කොළඹ 04, ශාන්ත පීතර විද්‍යාලයේ උසස් පෙළ ගණිත ගුරුවරයෙකු ලෙස ගුරු සේවයට බැඳුණු ඔහු 1988 වසරේ සහකාර මිනින්දෝරු අධිකාරිවරයකු ලෙස මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මින්න්දෝරු සේවයට බැ‍ඳෙන ලදි. 1991 වසරේ දී දියතලාව මැනුම් හා සිතියම්ගත කිරීමේ ආයතනයේ මැනුම් විද්‍යා උසස් ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිම කරන ලද ඔහු 1998දී භූ තොරතුරු (අවකාශීය තොරතුරු පද්ධති) පිළිබඳ වෘත්තීය ශාස්ත්‍රපති උපාධිය ලබාගන්නා ලදි. පසුව මැනුම් හා සිතියම්ගත කිරීමේ ආයතනයේ කථිකාචාර්යවරයෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් දීර්ඝ කාලයක් සේවය කර ඇති ඔහු මිනින්දෝරු වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් රටට දායාද කිරීමට මූලිකව දායක වී ඇත.

බහරේන් රාජධානියේ නිවාස අමාත්‍යාංශය යටතේ ඇති භූ විෂමතා සමීක්ෂණ අධ්‍යක්ෂ මණ්ඩලයේ වසර 4ක් පුරා මිනින්දෝරු වෘත්තිකයන් අධීක්ෂණය, ක්‍රියාත්මක කිරීම, නිරීක්ෂණ සමීක්ෂණ කටයුතු සහ දෝෂ නිරාකරණය පිළිබඳව මනා පළපුරුද්ක් ලබා ඇති මොහු, 1992 දී ජර්මනියේ Carl Zeiss වෙතින් Planicom Z2 පිළිබඳ මෙහෙයුම් පුහුණුව, 1999 දියතලාව ISM හි අභ්‍යවකාශයේ සිට සිතියම්කරණය පිළිබඳ වැඩමුළුව, 2008 සහ 2016 දී (දුරස්ථ සංවේදනය පිළිබඳ ආසියානු සමුළුව) ACRS සමුළුව සහ 2017 ඉන්දියාවේ UAV දත්ත කළමනාකරණ පුහුණුව ආදී සම්මන්ත්‍රණ රැසකට සහභාගි වී ඇත. මීට අමතරව ශ්‍රී ලංකාවේ ද විවිධ දේශීය සම්මන්ත්‍රණවලට සම්පත් දායකයෙකු ලෙස සහභාගි වී ඇත.

ශ්‍රී ලංකාවේ පාලන මැනුම්ජාල ඝනත්වය වැඩිදියුණු කිරීම, ගුවන් තොටුපළ මැනුම්, ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග මැනුම්, විවිධ සංවර්ධන යෝජනා ක්‍රම සඳහා අත්කර ගැනීම් මැනුම්, මහවැලි ජනාවාස හා සංවර්ධන කටයුතු සඳහා ඉංජිනේරු මැනුම් වැනි විවිධ සංවර්ධන යෝජනා ක්‍රම මැනුම් සඳහා පුරෝගාමීව කටයුතු කර අධීක්ෂණය කිරීමට මූලික දායකත්වයක් ඔහු විසින් ලබා දී ඇත. තවද ශ්‍රී ලංකාවේ ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ කටයුතු වඩාත් විධිමත්ව කරගෙන යාම සඳහා මූලික අඩිතාලම වන බිම්සවිය වැඩසටහන සඳහා ද පුළුල් දායකත්වයක් ලබා දී ඇත.

සිතියම්කරණ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම හා සිතියම් මහජනතාවට වඩාත් සමීප කරවීම සඳහා විශාල කාර්යභාරයක් ඉටුකර ඇති මොහු ශ්‍රී ලංකාව තුළ ඉඩම් තොරතුරු පද්ධති අංශය වඩාත් පුළුල් ලෙස බලගැන්වීමට මූලිකව කටයුතු කර ඇත.

දැනට ඔහු සංවර්ධන කටයුතු සඳහා විශාල බලපෑමක් ඇති කරන භූගෝලීය තොරතුරු වඩා හොඳ සහ කාර්යක්ෂම ලෙස භාවිත කිරීමට සහ බෙදා ගැනීමට ඉඩ සලසන ජාතික අවකාශීය දත්ත යටිතල පහසුකම් පිහිටුවීම සඳහා පත් කර ඇති ජාතික මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි.

දැනට ශ්‍රී ලංකා මැනුම් සභාවේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන මොහු සර්වෙයර් ජනරාල් ලෙස එහි සභාපති ලෙසද කටයුතු කරනු ඇත.

දේශීය හා විදේශීය වශයෙන් මැනුම් හා සිතියම්කරණ කටයුතු පිළිබඳ හසල අත්දැකීම් ඇති ඔහුගේ මූලික අපේක්ෂාව වන්නේ වඩාත් කැපවීමෙන් කටයුතු කරන කාර්යක්ෂම හා වෘත්තීමයභාවයෙන් පිරිපුන් සේවක මණ්ඩලයක් තුළින් ජාතික හා මහජන අපේක්ෂාවන් ඉටුකරන හා මහජන මිතුරු මිනින්දෝරු දෙපාර්තමේන්තුවකට නායකත්වය දෙමින් ජාතික සංවර්ධනයට අවශ්‍ය උපරිම දායකත්වය මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් ලබාදීමයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT