මෙරට පළමු නිවුන් අලි පැටවුන් දෙදෙනාගේ දෙවැනි උපන්දින සැමරුම් උත්සවය ඊයේ (31) කෑගල්ල පින්නවල අලි අනාථාගාරයේදී පැවැත්විණි.
පින්නවල අලි අනාථාගාරයේ සෙවණ ලබන පණ්ඩු සහ සුරංගිට දාව 2021 අගෝස්තු මස 31 වැනිදා අලුයම 5ට පමණ එක් පැටවකු ද, අනෙක් පැටවා පෙ.ව. 10ට පමණ ද උපත ලැබූ බව සහකාර අධ්‍යක්ෂවරුන් වන මිහිරාන් මැදවල සහ නවොත් අබේසිංහ මහත්වරු පැවැසූහ. මෙලෙස උපන් අලි පැටවුන් දෙදෙනාට දිසා සහ සජ්ජන ලෙස නම් තැබීම අලි අනාථාගාරයේ බලධාරීන් විසින් කර තිබිණි. සුරංගි පළමු වරට බිහි කළ පිරිමි අලි පැටවා කනකය. දෙවැනි වරට සුරංගි නිවුන් පිරිමි අලි පැටවුන් දෙදෙනා බිහි කළ බව එහි බලධාරීහු පැවැසූහ.
ඊයේ (31) දිනට යෙදී තිබුණු මේ නිවුන් අලි පැටවුන් දෙදෙනාගේ උපන්දිනය නිමිත්තෙන් සැමරුම් උත්සවයක් අලි අනාථාගාරයේ කාර්ය මණ්ඩලය විසින් සංවිධාන කර තිබුණි. එහිදී මේ අලි පැටවුන් දෙදෙනාට දෙස් විදෙස් සංචාරකයන් පලතුරුවලින් සංග්‍රහ කරන අයුරු දක්නට ලැබුණි.
මේ පිළිබඳව අදහස් දැක්වූ පින්නවල අලි අනාථාගාරයේ පශු වෛද්‍ය නිලධාරී බුද්ධික බණ්ඩාර මහතා මෙලෙස කියා සිටියේය.
“අවස්ථා ගණනාවකදී ලොව පුරා නිවුන් අලි පැටවුන් බිහි කර ඇති බවට වාර්තා වී තිබෙනවා. අසල්වැසි ඉන්දියාවේත් නිවුන් අලි පැටවුන් බිහි කර තිබෙනවා. ඔවුන්ගේ එක පැටවකු හෝ මිය ගොස් ඇති බවටත් වාර්තා වී තිබෙනවා. අපේ රටේ පළමු නිවුන් අලි පැටවුන් උපතක් පින්නවල අලි අනාථාගාරයේදී සිදුවී තිබෙනවා. එම නිවුන් අලි පැටවුන් දෙදෙනා මෙතෙක් දුරට සුව සේ ජීවත් වෙන්නේ ඔවුන් රැක බලා ගන්නා ඇත්ගොව්වන් වන ජයනන්දන, වසන්ත ගුණරත්න සහ සුනිල් බණ්ඩාර නිසයි. 1975 පෙබරවාරි මස 16 වෙනිදා එවකට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ඇමැති අභාවප්‍රාප්ත පී. බී. ජී. කළුගල්ල මහතා විසින් දිවයිනේ කැලෑබද ප්‍රදේශවල අතරමං වී සහ අනාථව සිටින අලි ඇතුන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස අලි හය දෙනකුගෙන් ආරම්භ කළ පින්නවල අලි අනාථාගාරයේ දැනට අලින් 69 දෙනෙක් සෙවණ ලබනවා.”