වැල්ලම්පිටිය කිත්තම්පහුව විවේකානන්ද විහාරය ආසන්නයේදී ත්‍රිරෝද රථයක් තුළදී පසුගිය 28 වැනිදා මහදවල් පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ මත්කුඩු ආරවුලකට බව හෙළි කරගත් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය එම ඝාතන සැලසුමට සම්බන්ධව සිටි කාන්තාවක් ඇතුළු තිදෙනෙක් ඊයේ (31) අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙරටින් පැනගොස් ඉන්දියාවේ සිටින මත්කුඩු ජාවාරම්කරුවකු වන රවී තීපන් නැමැත්තා විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව මෙම ඝාතනය සිදුව ඇති බවද හෙළිවී තිබේ. අත්අඩංගුවේ සිටි කොටහේනේ පදිංචි කාන්තාව යොදා දුරකතන ඇමතුමක් ලබාදෙමින් ඝාතනය වූ පුද්ගලයා වැල්ලම්පිටියට ගෙන්වාගෙන වෙඩි තබා ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත. ඒ වෙනුවෙන් එම කාන්තාවට රුපියල් ලක්ෂ 05ක මුදලක් රවී නැමැත්තා විසින් ලබාදීමට පොරොන්දු වී ඇති බව ද විමර්ශනවලින් හෙළිවී තිබේ.
අත්අඩංගුවට ගත් සෙසු අය අතර කාන්තාවගේ සහෝදරයාත් ඉන්දියාවේ සිටින රවී තීපන්ගේ මත්කුඩු ජාලයේ කළමනාකරු ලෙස කටයුතු කරන පුද්ගලයාත් සිටින බව බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
මෙම සැකකරුවන් දෙදෙනාත් කොටහේනේ පදිංචිකරුවන්ය. රවී නැමැති මත්කුඩු ජාවරම්කරුගේ කළමනාකරුට රවීගේ මත්කුඩු ජාලයේ මුදල් දිනකට රුපියල් ලක්ෂ 120කට වැඩි ප්‍රමාණයක් ලැබෙන බවත් එම මුදල් සියල්ලම උණ්ඩියල් කර ඉන්දියාවට යැවෙන බවත් විමර්ශනයේදී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී රුපියල් ලක්ෂ 17ක මුදලක් සහ නවීන ජංගම දුරකතන 09ක්ද හමුවී ඇත. එම ජංගම දුරකතන රවීගේ උපදෙසින් මිලදී ගත් ඒවා බවත් එම දුරකතන මත්කුඩු ජාලයේ සිටින රවීගේ ගෝලයන්ට බෙදා දීමට සූදානම් කර තිබූ බවත් ප්‍රශ්න කිරීමේදී සැකකරු පවසා ඇත.
ඝාතනයට ලක්වූ පුද්ගලයා රවීගේ මත්කුඩු බෙදා හැරීමේ ජාලයට සම්බන්ධ වී සිටියකු බව මේ වන විට සිදුව ඇති විමර්ශනවලින් පෙනී ගොස් ඇත. මොහොමඩ් සාජාන් නැමැති ඔහු රෙදි මිලදී ගෙන ඇඳුම් මසා අලෙවි කිරීමේ ව්‍යාපාරයකද නිරතව සිට ඇත. ඒ හැරුණු කොට ත්‍රිරෝද රථ රියැදුරකු ලෙස ද කටයුතු කරන බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාරියගේ සහෝදරයා ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ රවී ඉන්දියාවේ සිට දුරකතන ඇමතුමක් දෙමින් “සාජාන් අපිට පොල්ලක් තිබ්බා. මිනිහා ගැන බලා ගන්න ඕනේÓ යැයි පැවසූ බවය. ඒ අනුව තමා රවීගේ උපදෙස් මත පසුගිය අගොස්තු 01 වෙනිදා සිට සාජාන්ගේ ත්‍රිරෝද රථයෙන් කුලී ගමන් යමින් ඔහු සමඟ කුළුපග වූ බව සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. අනතුරුව රවීගේ උපදෙස් මත සිය සහෝදරිය සාජාන්ගේ ත්‍රිරෝද රථයේ නැඟී රැකියාවක් සොයා යන්නියක් ලෙස ගමන් කරමින් ඔහු සමඟ අනියම් පෙමක් ගොඩනඟාගෙන ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත.
රවීගේ උපදෙස් මත වැල්ලම්පිටියට සාජාන්ව ගෙන්වාගෙන ඇත්තේද මෙම කාන්තාව විසින් බව පොලිසිය කියයි. ඇගේ සැමියා සෞදියේ රැකියාවක නිරතව සිටින බව සඳහන්ය.
සාජාන් ඝාතනය වූ දින ඇය විසින් ඔහුට දුරකතන ඇමතුම් 09ක් ලබාදී ඇති බවත් මෙම ඝාතන සැලසුම ක්‍රියාත්මක වී ඇත්තේ ජංගම දුරකතන 03ක් ඔස්සේ බවත් හෙළිවී ඇත. එම දුරකතන තුනෙක් එකක් තිබී ඇත්තේ කාන්තාව සතුවය. එම දුරකතන තුනම රවීගේ උපදෙසින් ඔහුගේ කළමනාකරු විසින් අගෝස්තු 01 වෙනිදා මිලදී ගෙන වෙනත් පුද්ගල නම්වලින් ඇති සිම්කාඩ්පත් යොදා කාන්තාව ඇතුළු මෙම ඝාතන සැලසුමට සම්බන්ධ අයට ලබාදී ඇති බව ද විමර්ශනවලින් හෙළිවී තිබේ.