මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා ඉතා සූක්‍ෂ්ම ලෙස සකසන ලද කුටීරයක් සහිත කැබ් රථයක් සමඟ සැකකරුවන් පස්දෙනෙකු, යතුරුපැදියක් සහ රුපියල් මිලියන පහළොවක මුදලක් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව යාපනය, උරුම්පිරායි ප්‍රදේශයේ 29 සහ 30 යන දිනයන්හිදී සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී කොටු වී ඇත.
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික උත්තර හා වේළුසුමන යන ආයතන සහ යාපනය පොලිසිය හා පොලිස් විශේෂ කාර්යය බළකාය එක්ව 29 දින රාත්‍රියේ යාපනය, උරුම්පිරායි ප්‍රදේශයේ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබේ. එහිදී එම ප්‍රදේශයේ මාර්ගයේ ගමන් කරමින් තිබූ සැකකටයුතු කැබ් රථයක් නිරීක්ෂණය කර පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා සූක්‍ෂ්ම ලෙස සකසන ලද බවට සැක කෙරෙන කූටීරයක් සහිත එම කැබ් රථය සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
එමෙන්ම එම සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත 30 වන දින සවස් කාලයේ යාපනය, උරුම්පිරායි සහ මාදගල් ප්‍රදේශයන්හි සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ යතුරුපැදියක් සහ රුපියල් මිලියන පහළොවක මුදලක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.
මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22 ත් 53ත් අතර වයසේ පසුවන මාදගල්, උරුම්පිරායි සහ ඌව කුඩා ඔය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ. අත්අඩංගුවට ගත් කැබ් රථය, සැකකරුවන් පස්දෙනා, යතුරුපැදිය සහ රුපියල් මිලියන පහළොවක මුදල ඉදිරි නිතීමය කටයුතු සඳහා යාපනය කෝපායි පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබේ.