අම්බලන්ගොඩ නගරයට ඊයේ (31) දහවල් එකට පමණ යතුරුපැදියකින් පැමිණ ඇති පුද්ගලයෝ දෙදෙනෙක් ධර්මාශෝක විදුහල අසල රැඳී සිටි පුද්ගලයකුට වෙඩි තබා පලා ගියහ. යතුරුපැදියේ පැමිණි දෙදෙනකුගෙන් එක් අයකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, යතුරුපැදියේ පැමිණි දෙදෙනා එම යතුරුපැදියෙන්ම සිද්ධිය වූ ස්ථානයෙන් පලා ගියහ.
වෙඩි වැදුණු තැනැත්තා ඒ අවස්ථාවේ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක නැඟී අම්බලන්ගොඩ පොලිසියට පැමිණි බව පොලිසිය පැවසුවේය. වෙඩි වැදී සිටි අය ඒ මොහොතේම පොලිස් නිලධාරීන් විසින් බලපිටිය රෝහලට රැගෙන ගොස් රෝහල්ගත කරන ලද බව පොලිසිය සඳහන් කළේය. වෙඩි වැදුණු තැනැත්තා සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වයස අවුරුදු තිස් පහක පමණ වන අයෙකු බවත් ඔහු බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් පොලිසිය පවසයි.
වෙඩි වැදුණ තැනැත්තා වෑන් රථයකින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය වෙත පැමිණ ඇත්තේ සිය දරුවා පාසලින් නිවෙස වෙත රැගෙන යාමට බවත් ඔහු රථයෙන් බිමට බැස සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවත් පොලිසිය පැවසුවේය. සැකකරුවන් කවුරුන්දැයි මේ වන තෙක් හඳුනාගෙන නැති අතර, අම්බලන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.