රුපියල් ලක්ෂ අසූවකට විකිනීමට සූදානම් කර තිබූ සංරක්ෂිත මුහුදු තල්මසුන්ගේ වමනය, ඇම්බර් යනුවෙන් හදුන්වන කිලෝ 02 ග්රෑම් 646 ක් බරින් යුත් කොටස් තුනක් ඒවා ලග තබාගත් විශ්රාමික ආබාධිත හමුදා සෙබලකු ඇතුළු තිදෙනෙකු නැදගමුව කෙහෙල්බද්දර ප්රදේශයේදී ඊයේ (31) සවස අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නැදගමුව නාගවනාරාම පාරේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු හා කලගෙඩිහේනේ පදිංචිකරුවන් වන 48 හැවිරිදි විශ්රාමික ආබාධිත යුද හමුදා සෙබලකු හා 29 හැවිරිදි පුද්ගලයෙකි.
ඉහල වටිනාකමින් යුත් ඇම්බර් තොගයක් විකිණීමට ඇති බවට බස්නාහිර පලාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුනු තොරතුරක් අනුව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් උපාය දූතයකුගේද සහායෙන් කළ වැටලීමේදී මෙම සැකකරුවන් හා දේපල අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
සැකකරුවන් මෙම මුහුදු තල්මසුන්ගේ ඇම්බර් කොටස් මීගමුවේ පුද්ගලයකුගෙන් මිලදී ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර ඒවා රුපියල් ලක්ෂ අසූවකට මිල නියම කර තිබී ඇතැයිද අනාවරණය වී ඇතැයි පොලිසිය සදහන් කරයි. මෙම ඇම්බර් කිලෝ එකයි ග්රෑම් 164, ග්රෑම් 812 හා ග්රෑම් 670 යන බරින් යුත් කොටස් ලෙස තිබී ඇතැයිද පොලිසිය සදහන් කරයි.