කෑගල්ල දේවාලේගම නාරංදෙනිය ශ්‍රී නාගවනාරාම පුරාණ විහාරස්ථානයේ දී ඉකුත් 26 වැනිදා පෙරවරුවේ කුල දරුවෙක් සසුන්ගත කළ බව විහාරාධිපති පොල්පිටියේ සුමනසාර ස්වාමීන් වහන්සේ පැවසූහ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල පිටකන්ද ග්‍රාමයේ පදිංචිව සිටින කේ.ඩී. අජිත් කුමාර, ජී.ඩී. සංජුලා මහේෂිකා යන මවුපිය යුවළගේ දෙටු පුත් 12 හැවිරිදි කේ.ඩී. විහඟ නෙත්මිදු කුල දරුවා මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනායක ස්වාමීන් වහන්සේ, ගිනිගත්හේන බෝකරබැවිල ශ්‍රී අභිනවාරාමාධිපති උඩුබුලත්ගම් පළාතේ උප ප්‍රධාන සංඝනායක කෙහෙල්වරාවේ පියදස්සි, දේවාලේගම නාරංදෙනිය ශ්‍රී නාගවනාරාමාධිපති පූජ්‍ය පොල්පිටියේ සුමනසාර හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් පිටකන්දේ විපස්සී නමින් පැවිදි කෙරිණ.
මෙම අවස්ථාවට සතර කෝරළ මහ දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක රඹුක්කන දියසුන්තක රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති කොටගම චන්ද්‍රරතන, නෙළුන්දෙණිය මාම්පිට රජමහා විහාරාධිපති බෙලිගල් කෝරළයේ අස්ගිරි විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක යටිගල්ඔළුවේ විමලරත්න, කෑගල්ල බුළුගහදෙනිය ශ්‍රී විතානාරාමාධිපති කෑගලු විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති පරණකූරු කෝරළයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය හපුගොඩ පඤ්ඤාකිත්ති ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය හා දායක දායිකාවන් විශාල පිරිසක් එක්ව සිටියේය.