Home » කුරුණෑගල ටවුමට අලි ඇවිත් අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි

කුරුණෑගල ටවුමට අලි ඇවිත් අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි

by mahesh
September 1, 2023 12:55 am 0 comment

කුරුණෑගල අතිරේක පුෂ්පකුමාර ජයරත්න

ඉතා කෙටි කාලයකදී දෙවැනි වරටද කුරුණෑගල ආසන්නයටම වන අලි පැමිණ සිටින බව කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පළමු වරට පැමිණියේ එක් වන අලියෙකු වුවද ජනතාව පවසන අන්දමට මෙවර වන විට වන අලි පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්ම පැමිණ සිටින බැවින් එම වන අලි ගැවසෙන ප්‍රදේශවල පදිංචි ජනතාව දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බව කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා ප්‍රකාශ කළේය.

මීට දින තුනකට පමණ ඉහතදී රිදීගම, කවිසිගමුව බරන්දන හරහා ඉබ්බාගමුව ප්‍රදේශයට පැමිණ ඇති වන අලි රංචුව එම ප්‍රදේශ ආශ්‍රිතව රැඳී සිටින බව වාර්තා වේ. මෙම වන අලි රංචුව එම ප්‍රදේශවල තිබෙන පොල්, කෙසෙල්, මඤ්ඤොක්කා ආදි වගා රැසකටද හානි කර ඇති බවද වාර්තා වේ. අලි රංචුවේ කුඩා පැටවෙකුද සිටින බව වන අලි රංචුව දුටුවන් පවසයි.

මීට පෙර පැමිණි වන අලියාද මෙම ප්‍රදේශ ආශ්‍රිතවම රැඳී සිටිමින් වයෝවෘද්ධ පුද්ගලයෙකුද මරා දමා කුරුණෑගල නගරාසන්නයටම පැමිණි අතර, අවසානයේදී වන ජීවී නිලධාරීන් දැඩි වෙහෙසක් දරා වාරියපොළ පාදෙණිය ප්‍රදේශයේදී එම වන අලියා අල්ලාගෙන රැගෙන ගියහ. වනජීවී නිලධාරීන් පැමිණ වන අලි රංචුව පලවා හැරීම සඳහා කටයුතු කරන ආකාරය දැකගත හැකි විය.

අලි රංචුවම පලවා හරින තෙක් එම සතුන් කලබල වන ආකාරයට හැසිරෙමින් කටයුතු නොකරන ලෙසද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් ඉල්ලා සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT