ත්‍රිරෝද රියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් අකුරණ නගරයේ රැඳී සිටි පුද්ගලයකුට පාර්සලක් ලබාදෙන අයුරු නිරීක්ෂණ කළ පොලිස් බුද්ධි අංශයේ නිලධාරියකු විසින් එම පාර්සලය ඔහුගේ භාරයට ගෙන පරීක්ෂාවට ලක් කිරීමේදි එම පාර්සලය තුළ තිබී ගිනි අවි වර්ග කිහිපයකට යොදන ජීව පතරොම් 11ක් හා හිස් කොපු 05ක් සොයාගෙන තිබේ.
අලවතුගොඩ පොලිසියට අනුයුක්තව රාජකාරියේ නියුතුව සිටින පො.සැ.(43766) ජයසෝම නැමැති බුද්ධි නිලධාරියා පෙරේදා (30) දහවල් අකුරණ නගරයේ රාජකාරියේ නිතරව සිටි අවස්ථාවේ මෙම ත්‍රිරෝද රථය ඔහු සිටි දිශාවට පැමිණ තිබේ. පසුව මෙම නිලධාරියා එම ත්‍රිරෝද රථය දෙස බැලීමේදි ඒ තුළ පුද්ගලයින් දෙදෙනකු සිටිනවා දැක ඇති අතර, එම පුද්ගලයින් දෙදෙනා තරමක් කලබලකාරි ස්වරූපයකින් පසුවෙන අයුරු නිරීක්ෂණය වී තිබේ. මේ අවස්ථාවේ ත්‍රිරෝද රථය අසලට තවත් පුද්ගලයකු පැමිණ ඇති අතර, ත්‍රිරෝද රථය තුළ සිටි පුද්ගලයින් දෙදෙනා විසින් එම පුද්ගලයාට කිසියම් පාර්සලයක් දෙනු බුද්ධි නිලධාරිය දැක තිබේ. පසුව එම පාර්සලය ගැන සැක පළ කළ බුද්ධි නිලධාරියා වහ වහා එම ස්ථානය වෙත ගොස් අදාළ පාර්සලය පරීක්ෂාවට ලක්කර තිබේ. පසුව එය පතරොම් පාර්සලයක් බව තහවුරු කරගෙන මේ සම්බන්ධව අලවතුගොඩ පොලිසිය දැනුවත් කර තිබේ.
ඒ අනුව එම ස්ථානයට පැමිණි අලවතුගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් පතරොම් පාර්සලය, සැකකරුවන් තිදෙනා සහ ඔවුන් පැමිණි ත්‍රිරෝද රථය පොලිස් භාරයට ගෙන තිබේ. මෙම පාර්සලය තුළ ටී.56 වර්ගයේ ජීව උණ්ඩ 03ක්, 84 එස්. වර්ගයේ ජීව උණ්ඩයක්, ෂොට් ගන්වලට යොදන ජීව උණ්ඩ 07ක්, ටී 56 හිස් කොපු 03ක් හා ෂොට් ගන්වලට යොදන හිස් කොපු 02ක් තිබුණු බව පොලිසිය පවසයි. සැකකරුවන් පරීක්ෂාවට ලක්කර ඔවුන් සතුව තිබුණු ජංගම දුරකතන 04ක්, රියදුරු බලපත්‍රයක්, හැඳුනුම්පත් දෙකක්ද සොයාගෙන තිබේ.
පතරොම් පාර්සලය රැගෙන ආ ත්‍රිරෝද රථයේ සිටි සැකකරුවන් දෙදෙනා කොත්මලේ හා රම්බොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ඔවුන් දෙදෙනා යුද හමුදා සෙබළු දෙදෙනෙකු බවට සැක පළ කරන අතර, ඔවුන් සතුව යුද හමුදා හැඳුනුම්පත්ද තිබී ඇත. පතරොම් පාර්සලය ලබා ගැනීමට ආ පුද්ගලයා අකුරණ ප්‍රදේශයේ අයෙකු බවටද පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.
සැකකරුවන් තිදෙනා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත