Home » වී පර්යේෂණ අතින් ආසියාවේ ඉහළින්ම සිටින්නේ අපි

වී පර්යේෂණ අතින් ආසියාවේ ඉහළින්ම සිටින්නේ අපි

සමහරු කියන තරම් තත්ත්වය බරපතළ නැහැ

by gayan
September 2, 2023 1:00 am 0 comment

දෙසතියකදී වී කිලෝ ලක්ෂ විසිපහක් වී මණ්ඩලය මිලට ගත්තා

අඩු වර්ෂාපතනය ආහාර නිෂ්පාදනයට ඉතා තදින් බලපාන බව මහජනතාවට ඇතැම් ජනමාධ්‍ය වාර්තා දකින විට සිතෙන්නට පුළුවන. ඒ අනුව ඉදිරියේදී සහල්, එළවඵ, පලතුරු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර මිල ද අහස උසට ඉහළ යනු ඇතැයි බියක් ජනතාවට ඇතිව තිබේ. එහෙත් එහි ඇත්ත නැත්ත කුමක් ද? අපි ඒ පිළිබඳව ප්‍රවීණ කෘෂි ආර්ථික විශ්ලේෂක හා ආර්ථික විද්‍යාව පිළිබඳ බාහිර කථිකාචාර්ය, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක, වී අලෙවි මණ්ඩලයේ පරිපාලන හා මෙහෙයුම් කටයුතු භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි, දුමින්ද ප්‍රියදර්ශන මහතාගෙන් විමසුවෙමු. මේ ඔහු දැක්වූ අදහස්ය.

අපි වී වගාවෙන් මේ කතාබහ අරඹමු?

ඇතැම් මාධ්‍ය පෑවිල්ල උලුප්පා දක්වන අන්දම දුටුවාම මටත් බියක් නොදැණුනා නොවෙයි. ඒත් ඇත්ත තත්ත්වය එය නෙවෙයි. ඒ නිසා ජනතාව ඇත්ත දැනගන්න ඕනෑ. මේ කියන්නේ අයහපත් කාලගුණයෙන් අපිට කිසිම බලපෑමක් නැතැයි කියලා නෙවෙයි. අතිශයෝක්තියෙන් සහ බිය උපදවන සුලු අන්දමින් කරුණු වාර්තා කිරීම් දකින්න පුළුවන්. ඒත් එයින් සැබෑව යටපත් වෙනවා. එවිට ජනතාවට අවැඩක් වෙන්නේ. කෘෂිකාර්මික ගොවි රක්ෂණ මණ්ඩලය කවදත් වගා හානි වන වී ගොවීන්ට ඒ හානියට වන්දි දීමේ ක්‍රියාමාර්ග ගන්නවා. මින් පෙර සාර්ථක අස්වැන්නක පෙරනිමිති පෙනෙන්නට තිබූ බොහෝ කන්නවලදීත් අනපේක්ෂිත උවදුරු, හානි නිසා අස්වැන්නෙන් යම් ප්‍රමාණයකට බලපෑම් එල්ල වූ අවස්ථා බොහොමයි. ඉකුත් මහ කන්නයේදීත් විවිධ උවදුරු නිසා යම් බලපෑමක් ඇති වුණා. ඒත් ඒ මැදින් වුවත් සාර්ථක මහ කන්නයක අස්වනු ඇතිවයි අපි මෙවර යල කන්නයට පිවිසුණේ. සැප්තැම්බරයේදී උඩරට, පහතරට දෙකේම වගාවට එතරම් විශාල වශයෙන් වැසි අවශ්‍ය වන්නේත් නැහැ.

ඒ අනුව ඉකුත් මහ කන්නයේදී අපිට හොඳ අස්වැන්නක් ලැබුණා. එය මෙට්‍රික්ටොන් ලක්ෂ 27ක් පමණ වෙනවා. එයින් 10%ක පමණ ප්‍රමාණයක් බීජ නිෂ්පාදනය, සත්ත්ව ආහාර නිපදවීම, ගබඩා කිරීමේදී හානි වීම හා බර අඩුවීම ආදී සියල්ලටම අඩුකළ පසුව තවත් මෙට්‍රික් ටොන් ලක්ෂ 17ක් වත් මෙරට පරිභෝජනයට ඉතිරි වෙනවා. එසේම, මෙවර තරමක් පමා වී ආරම්භ කළ යල කන්නයෙනුත් ඒ හා සමාන අස්වැන්නක් මෙරට අපේක්ෂා කළා. ඇත්තෙන්ම, අපේ රටට මසකට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් විතර තමයි අවශ්‍ය වෙන්නේ. එහෙම බැලුවත් අපට සැප්තැම්බරය පමණ වන තෙක් ඇති තරම් සහල් තොග ඉකුත් මාස් කන්නයේ අස්වැන්නෙන් තවත් ඉතිරියි. ආනයනික සහල් මිල 50-75%කින් පමණ අඩුවීමෙන් පාරිභෝගිකයන් ඒවා මිලදී ගැනීමේ යම් ප්‍රවණතාවකුත් දක්නට ලැබෙනවා. අනෙක මෙරට සැප්තැම්බරයේ සිට ජනවාරිය පමණ වනතුරු සහල් මිලේ යම් ඉහළ යෑමක් අපේක්ෂා කළ හැකියි. මාස පහක පමණ කාලයකට යළි අස්වනු නොලැබීමත් ඊට එක් හේතුවක්. ඒත් එකලදීත් රුපියල් දහය – පහළොවකට වඩා වැඩිපුර මිල ඉහළ යෑමක් සිදු නොවනු ඇති. ඉතින් එය එසේ තිබියදීයි අපි යල කන්නයේ අස්වැන්න ගැන බලාපොරොත්තු තැබුවේ.

අස්වැන්න නෙළමින් තිබෙන යල කන්නය ගැන ඔබේ පුරෝකථනය මොන වගේ ද?

මේ වන විට අහන්නට දකින්නට තියෙන දෙයින්ම ඒ ගැන කියමුකෝ, පෑවිල්ලෙන් දැනට රට පුරා කුඹුරු අක්කර 40,000ක් විතර විනාශයි කියලානේ ඇතැම් මාධ්‍ය වාර්තා නිතර කියන්නේ. ඒ කියන ප්‍රමාණය මෙවර වගා කළ බවට වාර්තා වෙන මුළු වගා බිම් ප්‍රමාණයත් එක්ක ගළපා බලද්දී 3%ක් විතර වෙන්නේ. එහෙම වෙන්නේම මේ වන විට කෘෂිකර්ම අමාත්‍යාංශයේ වාර්තා අනුව කුඹුරු අක්කර ලක්ෂ දොළහමාරක් පමණ වගා කර ඇති නිසයි.

එහෙම බැලුවත් අපි සමහර මාධ්‍යවලින් නිතර දෙවේලේ වැනසුණු බව දකින ප්‍රමාණයට වඩා නොනැසී පවතින ගොයම ගැන කතාබහ හරි අඩුවෙන්නේ ඇහෙන්නේ. අනෙක, පෑවිල්ලෙන් මුළුමනින් කුඹුරු වැනසී නැති බවත් බොහෝවිට එයින් කොටසකට හානි වී ඇති බවත් දක්නට ලැබෙනවා. ඉතින්, මේ වැනසුණු බව කියන ප්‍රමාණයෙනුත් යම් අස්වැන්නක් ලැබෙනවා. අපි මේ ගත කරන්නේ වෙනදාටත් වඩා වැඩිපුර ගොවීන් වී වගාවට යොමුවූ යල කන්නයක්. ඊට වෙළෙඳ පොළේ පොහොර, බීජ සුලබ වීමත්, කලින්ට වඩා අඩු මිලට ගත හැකි වීමත් බලපෑවා. රුපියල් හතළිස් දහස තරම් ඉහළ මිලක් වූ පොහොර මිටියක් රුපියල් දසදහසට අඩු මිලකට සුලබව වෙළෙඳ පොළේ පැවතුණා. කෘමිනාශක, වල්නාශක ආදියත් සුලබව වෙළෙඳ පොළේ තිබුණා. ඉතින් ගොවීන් බොහෝදෙනකු වගාවට පිවිසුණා.

ඉතින්, ඉකුත් කාලයේදී නොයෙක් හේතු නිසා වගාවේ නොයෙදුණු ගොවීනුත් කන්න රැස්වීම්වලදී පුරෝකථනය කළාට වඩා වැඩිපුර වගා කිරීමට පෙලඹී ඇතැයි හඳුනාගත හැකියි. සාමාන්‍යයෙන් යල කන්නයකදී කෙරෙන උපරිම මට්ටමට මෙවර වගා කර තියෙනවා. ඒ කොහොම වුණත් මහා වැසි නොලැබුණත් සාමාන්‍ය වර්ෂාපතනයක් ලැබීමෙන් පමණක් වුවත් ඒ වැහි වතුර පවා ගොයමට ප්‍රමාණවත් වනු ඇති බවත් කිව හැකියි. වැව් දියෙන් නෙවෙයි, අහස් දියෙන් දැනට අස්වනු නෙළන්නට ආසන්න තත්ත්වයේ පවතින කුඹුරුවලට ප්‍රමාණවත් වනු ඇති. අනෙක, සැප්තැම්බරයේදී මෙරට වී, එළවළු වගාවලට වැසි අවශ්‍යතාවක් ලොකුවට නැහැනේ.

එසේම, මේ වන විටත් බහුලව වී වගා කරන ප්‍රදේශවලට කඩින් කඩ වැසි ලැබෙන බවත් වාර්තා වෙනවානේ. ඉතින් සහල් ආනයනය කළ යුතු වන මට්ටමේ අසාමාන්‍ය මිල ඉහළ යෑමක් මෑතකාලීනව පෙනෙන්නට නැහැ. ඒත් යම් විදිහකින් පුද්ගලික වෙළෙඳුන් කෘත්‍රිම සහල් හිඟයක් මවා පෑමට උත්සාහ කළහොත් රජය එය එසේ නොවන්නට අදාළ පියවර ගනු ඇති. ඒත් එයිනුත් අන්තිමේදී ගොවියා, පීඩාවට පත් විය හැකියි. ඒක එහෙම වෙන්නේම ගොවියාට යල කන්නයේ අස්වනු එතරම් වැඩි කලක් ගබඩා කර තබාගත නොහැකියි. වී බර අඩුවීම, කෘමි උවදුරු හානි වීම්, බැංකු පොලී ආදියෙන් පෙළෙන ගොවියා ඉදිරි මහ කන්නයට සූදානම් වන විටම විශාල වැයක් දරන්නට වෙනවා. ඊට ගොවියාට ඇති මඟ මෙවර අස්වැන්නයි. දහයියා, සත්ත්ව ආහාර, සුණු සහල් ආදියෙන් අමතර ආදායමක් ලැබීමෙන් ඔවුන්ගේ ආර්ථික තත්ත්වය හොඳ මට්ටමකට ගෙන ඒමටත් හැකියාව ලැබෙනවා.

රටේම සහල් වර්ග පාරිභෝජනය විවිධාකාරයි නේද?

ඔව්. මෙරට වී වගා කරන්නේත් ඒ ඉල්ලුම සැලකිල්ලට ගැනීමෙන්. මුළු වී වගාවෙන් 70% – 75%ක් තරම් ප්‍රමාණයක් නාඩු තමයි වගා කරන්නේ. දකුණු පළාතේ රතු නාඩු වැඩිපුර වගා කරන්නේ. රතු සහල් තමයි වැඩිපුර එහි පරිභෝජනය කරන්නේ. මුළු වගාවෙන් 10%ක් පමණ කීරි සම්බා සහල් වගා කෙරෙනවා. ඒ අස්වනු වැඩිපුර හෝටල් ආදියට කොළඹට එවනවා. සෙසු පළාත්වලට සාපේක්ෂව බස්නාහිර කීරි සම්බා පරිභෝජනය වැඩියි.

වී අලෙවි මණ්ඩලයේ සියලු ගබඩා වසා දමා ඇති වගක් තමයි ඇතැම් මාධ්‍ය වාර්තා නිසා හිතෙන්නේ?

ඒත් ඒක එහෙම නෙවෙයි. යල අස්වනු නෙළීම ඇරඹීමත් සමඟ දෙසතියක් තුළදී වී කිලෝ ලක්ෂ 25ක් මිලදී ගනිමින් අපි ඒ කර්තව්‍යය ඇරඹුවා. ඒ අනුව මෙවරත් වී අලෙවි මණ්ඩලයට වෙන් වී ඇති මුදලින් උපරිමයෙන් වී මිලදී ගැනීමේ කටයුතු කරනවා. කොහොමටත් වී මිලදී ගන්නා බවට වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල බැනර්, පෝස්ටර් ප්‍රදර්ශනය කළ සැණින් ගොවියාගේ අතට වැඩි මිලක් ලැබීමේ වැඩපිළිවෙළ ඇරඹෙනවා. ඒ, පුද්ගලික අංශය ඊට වඩා වැඩි මිලට ගොවීන් ළඟටම ගොස් වී මිලදී ගන්නා නිසයි. අපේ ගබඩා 356න් සැලකිය යුතු ගණනක් ආරම්භයේදීම ඒ වැඩපිළිවෙළට දායක වුණා. මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් එහි ගබඩා කර තැබිය හැකියි. ඉදිරියටත් රජයෙන් මුදල් ලැබෙත්ම ගොයම් කැපීමට නියමිත ප්‍රදේශවල ගබඩා විවෘත කිරීමේ බලාපොරොත්තුව තියෙනවා. වී අලෙවි මණ්ඩලයේ කාර්යභාරය එතරම්ම මෙරටට වැදගත්. ඒ කාර්ය වෙනත් රාජ්‍ය ආයතනයකටවත් ඉටුකළ නොහැකියි. විශේෂයෙන්ම මෙවරත් අඩු මිලට වී අලෙවි වූ ප්‍රදේශවලටයි වී අලෙවි මණ්ඩලය ප්‍රමුඛතාවක් දුන්නේ. ඊට කෙටි කලෙකට පසුව රුපියල් 20කින් පමණ වී මිලෙහි වැඩි වීමක් දක්නට ලැබුණා. ඉන් සෙත සැලසෙන්නේ ගොවීන්ටයි.

වී මෝල් හිමියනුත් හැකි පමණින් වී තොග ගබඩා කර ගත්තා. එහෙම නොවුණොත් ඒ අයටත් අවාසියි. අල්ලා ගෙන සිටින මාර්කට් එකේ ඉල්ලුමට සැපයුම දෙන්න ඕනෑනේ. එහෙම නොවුණොත් මාර්කට් එක නැතිව යනවා. ඒ තැනට වැටෙන්නට කිසිම සැපයුම්කරුවෙක් කැමැති නැහැ. නොවැම්බරය වන විට ගබඩා හිස් කරමින් ඉදිරි මහ කන්නයට ගොවියා ලකලෑස්ති වෙන්නම ඕනෑ. මේ ඇත්ත වටහා ගෙන වී අලෙවි මණ්ඩලය ගොවි සුබසෙත වෙනුවෙන් උපරිමයෙන් ඇපකැප වී කටයුතු කරනවා. පාරිභෝගිකයාට සහන මිලකට සහල් සැපයීමේදීත් එය එසේමයි. වී අලෙවි මණ්ඩලය මෙට්‍රික් ටොන් 80,000ක් ගබඩා කර ගැනුණු ඉකුත් කාලයකදී සතොසට රුපියල් 91ක් බැගින් සහල් දුන්නත් අපේ තොග හමාර වූ පසුව ඊළඟ අස්වැන්න ලැබෙන තෙක් පැවැති මාස කිහිපය සඳහා වුණත් සහල් ටෙන්ඩර් මිල ඉදිරිපත් වුණේ රුපියල් 110ක් තරම් වැඩි ගණනකින්. එයිනුත් වී අලෙවි මණ්ඩලයේ වැදගත්කම පෙනෙනවා. ඒ මිසෙක, මහවැලි අධිකාරියට, දිස්ත්‍රික්, ප්‍රාදේශීය ලේකම්වරුන් ආදීන්ට වී අලෙවි මණ්ඩලයෙන් ඉටුවන කාර්යභාරය කිසිසේත් ඉටුකළ නොහැකියි.

වෙළෙඳ පොළේ සහල් මිල ඉහළ යෑමට නොදී පවත්වාගෙන යෑමට කවදත් වී අලෙවි මණ්ඩලය කරන මැදිහත්වීම සුවිශේෂයි. මෙරට වාර්ෂික ඒකපුද්ගල සහල් පරිභෝජනය 110 kgක් පමණ වෙනවා. මෙට්‍රික්ටොන් ලක්ෂ 24ක වාර්ෂික සහල් අවශ්‍යතාවක් මෙරටට අවශ්‍යයයි. එය පිරිමැහෙන්නේ යල, මහ දෙකන්නයෙන්. යල, මහ අතරමැදි කන්නයකුත් වගා කරනවා. විශේෂයෙන් එකල මුං වගාව කෙරෙනවා.

එළවළු, ධාන්‍ය මිල ගැනත් ජනතාවට දැඩි විදිහට බලපා තිබෙනවා නේද ?

වාර්ෂිකව මැයි, ජුනි, ජූලි මාසවලදී මෙරට එළවළු මිලෙහි ඉහළ යෑමක් හඳුනාගත හැකියි. ඒත් ඒක තාවකාලිකයි. සැපයුම අඩුවීම නිසයි එහෙම වෙන්නේ. ඔක්තෝබර් 15න් පස්සේ යම් තරමකින් එළවළු මිලේ ඉහළ යෑමක් අපේක්ෂා කරනවා. ඒත් සැප්තැම්බරය තෙක් එළවළු මිලේ එතරම් ඉහළ යෑමක් ඇති නොවනු ඇති බවක් පුරෝකථනය කළ හැකියි.

අප කෘෂිකර්ම පර්යේෂණ ගැනත් කතා කරමුද?

වී වගාව අතින් පර්යේෂණ පැවැත්වීමෙන් ආසියාවේ ඉහළම තැනක මෙරට සිටිනවා. කුඹුරු හෙක්ටයාරයකින් 4000kg – 7000kg තරම් ඉහළ අස්වැන්නක් මෙරට ලබනවා. ඒ සඳහා ඉතා හොඳ මට්ටමෙන් පර්යේෂණ කෙරෙනවා. එක් එක් වී ප්‍රභේද විවිධ ප්‍රදේශ අනුව පර්යේෂණාත්මකව හඳුන්වා දී තියෙනවා. එසේම මෙරටට පුද්ගලික අංශයේ සහල් මෝල් හිමියන් නිසා අත්වූ සෙත ගැනත් කිව යුතුමයි. මේ වන විට මෙරට වෙළෙඳපොළේ තියෙන්නේ ඉතා ප්‍රමිතිගත සහල්. තරගකාරී වශයෙන් වඩා දියුණු හා ප්‍රමිතිගත අන්දමින් සහල් තොග වෙළෙඳපොළට එවීමට ඔවුන් නිරතුරුව කටයුතු කරනවා. ඒ හැරෙන්නට දුර්වල, බාල තත්ත්වයේ සහල් මිලදී ගන්නට කවුරුත් පෙලඹෙන්නේ නැහැ. ඉතින් ඒ මට්ටමට සහල් නිෂ්පාදනයේ පුරෝගාමින් වුණේත් ඒ අයමයි. විදේශීය දියුණු තාක්ෂණය ආදියත් ඔවුන් එහිදී යොදා ගත්තා. බඩපත් නාඩු ආදී සුවිශේෂී හඳුන්වාදීම් ඊට උදාහරණ. මේ වන විට මහා පරිමාණයෙන් සහල් නිෂ්පාදනය කළ හැකි පහසුකම් දැන් මෙරට පවතිනවා. ඒ වෙනුවෙන් පුද්ගලික අංශය විශාල පිරිවැයක් දරා තියෙනවා. එයත් රටක් වශයෙන් මෙරටට ලැබුණු විශාල ආයෝජනයක්.

නුවන් මහේෂ් ජයවික්‍රම

ඡායාරූපය – රුක්මල් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT