තායිලන්තයේ හිටපු අගමැති තක්සින් ෂිනවට්රාට පනවා තිබූ වසර අටක සිරදඬුවම වසරක් දක්වා අඩු කිරීමට තායිලන්ත රජු තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 15ක්ම ස්වයං පිටුවහල් වීමකින් රටින් බැහැරව සිටි තායිලන්තයේ හිටපු අගමැති තක්සින් ෂිනවට්රා පසුගියදා නැවත මවුබිමට පැමිණි විගස ගුවන්තොටුපොළේදීම අත්අඩංගුවට ගෙන තිබූ අතර, සිරගත කිරීමෙන් පසු හෘදයාබාධයක් වැලඳීම හේතුවෙන් රෝහල්ගත කර තිබිණි. තායිලන්තයේ රජු වජිරලෝන්කෝන් ඔහුගේ සිරදඬුවම ලිහිල් කිරීමට තීරණය කර ඇත්තේ ඒ පිළිබඳ අවධානය යොමු කරමින් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
දූෂණය සහ බලය අයුතු ලෙස භාවිත කිරීම චෝදනා සම්බන්ධයෙන් වරදකරු වූ හිටපු අගමැතිවරයා 2006 දී හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කර තිබූ අතර, ඊට වසර දෙකකට පසු ඔහු රටින් පලා ගියේය. ඔහු නැවත තායිලන්තයට පැමිණියේ පසුගියදා එරට නව අගමැතිවරයා ලෙස ඔහුගේ පියු තායි පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ ස්රෙතා තවිසින් පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් තෝරා පත් කරගැනීමෙන් පසුවය. එබැවින් ඔහු අත්අඩංගුවට පත්වීම කෙටිකාලීන වනු ඇතැයි මීට පෙර අනාවැකි පළ වී තිබිණි. තායිලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදීව පත්වූ වඩාත්ම සාර්ථක නායකයා ලෙස සැලකෙන 63 හැවිරිදි ෂිනවට්රා රටින් පලාගියේ වසර 2009 දීය.