Home » සහයෝගිතාවය ශක්තිමත් කරන්න ලුම්බිණියේ සිට කොළඹට ප්‍රදර්ශනාත්මක යතුරුපැදි සවාරියක්

සහයෝගිතාවය ශක්තිමත් කරන්න ලුම්බිණියේ සිට කොළඹට ප්‍රදර්ශනාත්මක යතුරුපැදි සවාරියක්

ආණ්ඩුව පූර්ණ සහාය දෙන බව අගමැති කියයි

by gayan
September 2, 2023 1:00 am 0 comment

ලුම්බිණියේ සිට කොළඹ දක්වා ප්‍රදර්ශනාත්මක යතුරුපැදි සවාරිය සඳහා ආණ්ඩුවේ පූර්ණ සහයෝගය ලබා දෙන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ නේපාලයේ ත්‍රිවිධ හමුදාවන් සහ තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් ලුම්බිණියේ සිට කොළඹ දක්වා පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනාත්මක යතුරුපැදි සවාරිය පිළිබඳ මූලික සාකච්ඡාවක් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (01) පැවැත්වුණ අතර එහිදී අගමැතිවරයා එසේ පැවසීය.

නේපාලයේ ලුම්බිණියේ සිට ඉන්දීය දේශසීමාවට ඇතුළු වී බුද්ධගයාව, නාලන්දාව, කුසිනාරා, ශාවස්ත්‍රී, සාරානාත් සංකස්ස යන ප්‍රදේශ හරහා පැමිණෙන යතුරුපැදි සවාරිය දකුණු ඉන්දියාවට පැමිණ රාමේෂ්වරම් හරහා කංකසන්තුරයෙන් මෙරටට ඇතුළුවීමට නියමිතය.

ජනවාරි මස 15 වැනි දින මෙරට දී ආරම්භ කෙරෙන යතුරුපැදි සවාරිය කංකසන්තුරයේ සිට අනුරාධපුර, දඹුල්ල, මාතලේ, මහියංගණය, බදුල්ල, ඇල්ල, කතරගම, මාතර යන ප්‍රදේශවල බෞද්ධ සිද්ධස්ථාන සහ සංචාරක ආකර්ශණීය ස්ථාන ආවරණය කරමින් කොළඹට පැමිණීමට නියමිතව තිබේ. ඊට සමගාමීව කොළඹ දී රටවල් තුනේ කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් සංස්කෘතික සංදර්ශනයක් පැවැත්වීමට ද නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව, නේපාලය, ඉන්දියාව යන රටවල් තුන අතර ආගමික හා සංස්කෘතික සම්බන්ධතා අගය කළ අගමැතිවරයා යතුරුපැදි සවාරිය සඳහා රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවට සහතික විය. ලුම්බිණියේ සිට ශ්‍රී ලංකාව දක්වා යෝජිත දිගු යතුරුපැදි සවාරිය අපගේ රටවල් අතර සබඳතාව සහ සමීප සහයෝගිතාවය ශක්තිමත් කිරීමට අවස්ථාවක් උදාකරනු ඇති අතර මෙම යතරු පැදි සවාරියේදී ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සමාන අවස්ථා ලබාදිය යුතු බව අගමැතිවරයා මෙහිදී සඳහන් කෙළේය. ඇමැති රොෂාන් රණසිංහ, රාජ්‍ය ඇමැතිවරුන් වන රෝහණ දිසානායක, ශෙහාන් සේමසිංහ, ශාන්ත බණ්ඩාර, ඩයනා ගමගේ, ජානක වක්කුඹුර , මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මෙහිදී අදහස් දැක් වූ අතර ඒ ඒ අමාත්‍යාංශවලින් යතුරුපැදි සවාරියට අවශ්‍ය සහයෝගය ලබාදෙන බවට සහතික විය.

නේපාල, ඉන්දීය තානාපති නිලධාරීන් සහ සම්බන්ධීකාරක රාහුල් පටේල්, අගමැති ලේකම් අනුර දිසානායක මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ඒකීය විශ්ව සංවිධානයේ (One universe organization) පියල් දර්ශන ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT