Monday, May 5, 2025
Home » උ.පෙළ ලියූ 263,933න් 166,938කට සරසවි වරම්

උ.පෙළ ලියූ 263,933න් 166,938කට සරසවි වරම්

by sachintha
September 5, 2023 7:05 am 0 comment

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 (2023) විභාගයේ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 166,938 දෙනකු සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (04) නිකුත් කළ අතර www.doenets.lk හෝ www.results.exams.gov.lk නිල වෙබ් අඩවි මඟින් ප්‍රතිඵල පරීක්ෂා කර ගත හැකිය. මෙවර උසස් පෙළ විභාගයට අයදුම්කරුවන් 263,933ක් පෙනී සිටි අතර විවිධ හේතු මත 84කගේ ප්‍රතිඵල අත්හිටුවා ඇත.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ 166,938න් 149,487ක් පාසල් අයදුම්කරුවන් වන අතර 17,451ක් පෞද්ගලික අයදුම්කරුවෝ වෙති. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 96,995ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා නොමැති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ප්‍රතිඵල නිකුත් කළ අවස්ථාවේ සිට පැය විසි හතරක් තුළ සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන්ට http://onlineexams.gov.lk/eic සබැඳියට පිවිසීමෙන් ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර ප්‍රතිඵල සටහනක් බාගත කර ගැනීමට හා නිරීක්ෂණයට හැකිය. මෙම වෙබ් අඩවියටම පිවිසීමෙන් සියලුම විදුහල්පතිවරුන්ට ද ඔවුන්ට ලබාදී ඇති පරිශීලක නාම (user name) හා මුර පද (password) භාවිතා කර පාසලේ විභාග ප්‍රතිපල ලේඛන බාගත කර මුද්‍රිත පිටපතක් ලබා ගත හැකිය. සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා කලාප අධ්‍යක්ෂවරුන්ට ලබාදී ඇති පරිශීලක නාම හා මුර පද භාවිතා කර http://onlineexams.gov.lk/onlineapps/index.php/welcome/onlineresults සබැඳිය මඟින් තම පළාතේ හෝ කලාපයේ සියලු පාසල්වල ප්‍රතිඵල බාගත කර ගත හැකිය.

උසස් පෙළ විභාගය 2022 (2023) සඳහා පෙනී සිටි අපේක්ෂකයන්ට පමණක් නැවත 2023 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවශ්‍ය වන්නේ නම්, ඒ සඳහා මේ මස 11 වැනිදා සිට 16 වැනිදා දක්වා https://onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ අයදුම් කළ හැකිය.
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා https://onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ අනිද්දා (07) සිට 16 වැනිදා දක්වා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.
සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT