Home » රණවිරුවන්ගේ චිත්ත ධෛර්ය නැංවූ මනෝ උපදේශකවරිය තලංගම ලැගුම්හලකදී ගෙල කපා මරා දාලා

රණවිරුවන්ගේ චිත්ත ධෛර්ය නැංවූ මනෝ උපදේශකවරිය තලංගම ලැගුම්හලකදී ගෙල කපා මරා දාලා

by thanushika
September 5, 2023 7:30 am 0 comment

කාමරයේ ඇය සමඟ සිටි පුද්ගලයා අතුරුදන්

සැකකරුගේ ලිපියක් ලැඟුම්හලෙන් මතුවෙයි

හිටපු පොලිස්පතිවරයකුටත් උපදේශනය දීලා

යුද්ධය පැවති සමයේදී හමුදා කඳවුරුවලටත්, පොලිස් ස්ථානවලටත් ගොස් රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය නැංවීමට යැයි සඳහන් කරමින් මනෝ උපදේශන කටයුතුවල නිරතව සිටි මනෝ උපදේශකවරියක් තලංගම ලැගුම්හලකදී ගෙල කපා ඝාතනය කර ඇත.

සුජාතා මුණසිංහ මානාභරණ නමැති මෙම කාන්තාවගේ සිරුර හමුවී ඇත්තේ ඊයේ (04) දහවල් කාලයේදීය.

මෙම කාන්තාව පසුගිය 26 වෙනිදා සිට මෙම ලැගුම්හලට තවත් අයෙක් සමඟ පැමිණ නවාතැන් ගෙන සිට ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ. ඇයත් එම පුද්ගලයාත් උදෑසන හෝටල් කාමරයෙන් පිටව ගොස් නැවත පැමිණෙනුයේ සවස් කාලයේදී බව ද විමර්ශනවලින් අනාවරණය වී තිබේ. පෙරේදා (03) රාත්‍රී කාලයේද සුපුරුදු ලෙස හෝටල් කාමරයට පැමිණි ඔවුන් දෙදෙනා නැවතත් ඊයේ (04) උදෑසන කාමරයෙන් පිටව නොයෑම හා කිසිදු ශබ්දයක් හෝ නොමැති බැවින් හෝටල් කාර්ය මණ්ඩලය ඒ ගැන කළ සොයා බැලීමේදී ඇගේ සිරුර කාමරයේ තිබී හමුවී ඇති බව බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර මහතා සඳහන් කළේය. ඇගේ ගෙලෙහි කැපුම් පහරවල් දෙකක් පමණ ඇති බවත් බොහෝ විට මෙම ඝාතනය පෙරේදා රාත්‍රී කාලයේදී හෝ ඊයේ අලුයම් කාලයේදී සිදුවී තිබෙන බවට සැකකරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය.

ඇගේ සිරුර හමුවන විට හෝටල් කාමරයේ ඇය සමඟ පසුගිය දිනවල ගත කළ පුද්ගලයා අතුරුදන්ව ඇති බව තලංගම පොලිසිය කියයි.

මෙම හෝටලයේ ආරක්ෂක කැමරා පද්ධතියක් සවිකර ඇතත් එය අක්‍රීයව තිබීම හේතුවෙන් එම පුද්ගලයා කවුරුන්දැයි හඳුනා ගැනීමට අවට නිවාස හා ආයතනවල සවිකර ඇති ආරක්ෂක කැමරා දර්ශන මෙන්ම දුරකතන ජාල විශ්ලේෂණයක් සිදුකිරීමට ඊයේම පොලිසිය පියවර ගෙන තිබුණි.

ඇය සමඟ පෙරේදා (03) රාත්‍රී කාලයේ හෝටලයට පැමිණි පුද්ගලයා වරක් හෝටලයෙන් පිටතට ගොස් නැවත පැමිණ ඇති බවත් ඝාතනය සිදුව ඇත්තේ ඒ කාලය තුළදී දැයි සැකයක් ද ඇතිවී තිබේ. එම පුද්ගලයා නැවත හෝටලයෙන් පිටව ගියේ කීයටදැයි කියාවත් හෝටලයේ සේවකයින් නොදන්නා බව ද පොලිසිය කියයි. කාන්තාව ඝාතනය වී සිට ඇත්තේ කාමරයේ ඇඳ මත බවත් ඒ වන විටත් රුධිරය ගලාගෙන ගොස් ඇඳ රුධිරයෙන් තෙත්ව තිබී ඇත.

මෙම යුවළ හෝටලයට පැමිණෙන විට ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් හෝ අනන්‍යතාව සනාථ කරන කිසිවක් ඉදිරිපත් කර නැත. ඔවුන් ව්‍යාජ තොරුතුරු ලබා දී ඇති බවත් ඇය පදිංචි ස්ථානයක්වත් සොයා ගැනීමටත් නැති බවත් පොලිසිය කියයි. ඇය විසින් තමාගේ ජාතික හැඳුනුම්පත් අංකය ලෙස ලබා දී ඇත්තේ 1977 වසරේ උපන් අයෙකුගේ හැඳුනුම්පත් අංකයක් බවද විමර්ශනයේදී පෙනී ගොස් ඇත. මෙම කාන්තාව අවුරුදු 50 ඉක්මවූ තැනැත්තියක් බව ද පෙනී ගොස් තිබේ.

මෙම කාන්තාවගේ ගමන් මල්ලෙහි තිබී හපුතලේ ප්‍රදේශයේ ලැගුම්හලකට අයත් ලිපිනයක් ද හමුවී ඇත. එම ලැගුම්හලේ ද මෙම කාන්තාව පුද්ගලයෙක් සමඟ ඊට පෙර අවස්ථාවකදී නවාතැන් ගෙන සිට ඇති බව පෙනී ගොස් තිබේ. මෙසේ ඝාතනය වී සිටින කාන්තාවගේ ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන්නේ ඇය 2003 වසරේ සිට මනෝ උපදේශිකාවක් ලෙස හමුදාවට සහ පොලිසියට උපදේශන ලබාදීමට ඉදිරිපත් වී සිටින්නියක් ලෙසිනි. ඇය පෙනී සිට ඇත්තේ යුරෝපීය රටක සේවය කර අපේ රටේ රණවිරුවන්ගේ චිත්ත ධෛර්ය නැංවීමට මෙරටට පැමිණ නොමිලයේ සේවය කරන බවය. ඇය උතුරු සහ නැඟෙනහිරත් දකුණේත් හමුදා කඳවුරුවලට ගොස් උපදේශන සේවා සපයන්නට වූ තැනැත්තියකි. 2005 වසරින් පසු ඇය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතියක් ඇතිව මෙම කටයුත්තට මුල පුරා තිබුණාය.

සොල්දාදුවන්ට අමතරව හමුදාවේත්, පොලිසියේත් උසස් නිලධාරීන්ට පුද්ගලිකවම ඇය මුණගැසෙමින් උපදේශන සේවා සපයනු ලබා ඇත. හිටපු පොලිස්පතිවරයෙකුට පවා ඇය දීර්ඝ කාලයක් තිස්සේ උපදේශනය ලබා දී තිබේ.

ඇය විසින් උපදේශන සේවා සැපයීමට ගමන් කරනු ලබන්නේ ඇයට වඩා වසර 10ක් පමණ බාල තරුණයෙකු සමඟිනි. ඔවුන් දෙදෙනා උපදේශන සේවා ලබාදීමට යාමේදී ඔවුන්ට රට වටේම හෝටල්වල නවාතැන් ගෙන මුදල් නොගෙවා යාම් පිළිබඳව එකල තොරතුරු වාර්තා වී තිබුණි. එම හෝටල්වලට ඔවුන් පවසා ඇත්තේ අදාළ පොලිසියෙන් හෝ කඳවුරෙන් මුදල් ලබා ගන්නා ලෙසය.

මෙම කාන්තාව එකල ඇගේ සහයකයා යැයි කී තරුණයා සමඟ පෙනී සිට ඇත්තේ ශ්‍රී ලංකා රජයේ උපදේශන සේවා සපයන නියෝජිතවරියක් ලෙසිනි. පොලිසිය පවා මේ නිසා ඇයට බියක් දක්වා ඇත. ඇගේ මෙම ක්‍රියාව එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම්වත් වීමෙන් අනතුරුව ඇයට හමුදා කඳවුරුවලට ඇතුළුවීම ද තහනම් කර තිබී ඇත.

මෙම කාන්තාවගේ සහයකයා යැයි කී පුද්ගලයා මෙයට වසර 10කට පමණ පෙර කොළඹ පුරහල ප්‍රදේශයේ පිහිටි සන්නිවේදන කුලුනක් මත නැඟී උද්ඝෝෂණයක් ද කරනු ලැබීය. ඒ ඇය තමාව විවාහ කර ගන්නා බවට පොරොන්දුවක් දී තමාව මඟහැරිය බව කියමිනි. එම සිදුවීමෙන් අනතුරුව ඇය ගැන නැවත සමාජය හමුවේ යම් කතාබහක් ඇතිවන්නේ ඇගේ සිරුර තලංගම හෝටල් කාමරයෙන් හමුවීමත් සමඟිනි.

එම කාමරයේ තිබී ඇය හමුදා කඳවුරුවලට ගොස් උපදේශනයන් පැවැත්වීම් සම්බන්ධයෙන් පළවී තිබුණු මාධ්‍ය වාර්තා කිහිපයක් ද තිබී ඇත. ඇගේ අනන්‍යතාවය පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත්තේ ඒ ඔස්සේය. එහෙත් ඇය නිශ්චිතවම පදිංචිව සිටින ස්ථානයක් මෙතෙක් සොයාගෙන නැත.

ගයාන් කුමාර වීර­සිංහ, මීගොඩ – බී.කේ. කත්‍රිආරච්චි, බණ්ඩා­ර­ගම – බිමල් ශ්‍යාමන් ජය­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT