Home » පෙම්වතියගේ හොර ඇසුරක් අගිස්සන මුවාවෙන් කාමරයකට අරන් ගිහින් සිහි නැති වෙන්න ගහලා

පෙම්වතියගේ හොර ඇසුරක් අගිස්සන මුවාවෙන් කාමරයකට අරන් ගිහින් සිහි නැති වෙන්න ගහලා

-පෙම්වතිය රෝහලේ: පෙම්වතා බන්ධනාගාරයේ

by sachintha
September 5, 2023 6:32 am 0 comment

උපාධිධාරී පෙම්වතිය වෙනත් පුද්ගලයෙකු සමඟ සම්බන්ධකම් පවත්වන බව පවසා ඇයව ලැගුම් හලකට කැඳවා ගෙන ගොස් සිහිසුන් වන තුරු පහර දුන් බව කියන සැකකාර උපාධිධාරියෙකු මේ මස 13 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සමිත ලාල් කොඩිසිංහ මහතා පෙරේදා (03) පස්වරුවේ නියෝග කළේය.

රත්නපුර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ලලිත් සඳ නුවන් නමැත්තෙකු එසේ රිමාන්ඩ් කෙරිණි.

පස්යාල ප්‍රදේශයේ ලැගුම් හලක දී පහර දීම හේතුවෙන් සිහිසුන් නොමැතිව වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර සිටින බවට ලද තොරතුරකට නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

නිට්ටඹුව පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් සමන් තිලක මහතා කරුණු දක්වමින් සැකකරුත් රෝහල්ගත කර සිටින තැනැත්තියත් දෙදෙනාම රජරට විශ්වවිද්‍යාලයේ ඉගෙනීම් කටයුතු කරන කාලයේ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇති බව පරීක්ෂණවලදී හෙළි වී ඇති බව පවසා සිටියේය.

තුවාලකාරිය දිවයිනේ ප්‍රසිද්ධ කුකුළු ෆාම් ජාලයකට අයත් නිට්ටඹුව කලල්පිටිය ප්‍රදේශයේ කාර්යාලයක සේවයේ නියුතුව සිටින බවත් ඇය එම කාර්යාලයේ පුද්ගලයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන යන බව කියන සිද්ධියක් මත සැකකරු එම කාර්යාලයට ගොස් ඇයව පස්යාල ප්‍රදේශයේ ලැගුම් හලකට කැඳවා ගෙන ගොස් මත්පැන් පානය කර ඉතා අමානුෂික ලෙස ඇයට පහර දීම් කර ඇති බවත් ඒ හේතුවෙන් මේ වන විට ඇය සිහිසුන් නොමැතිව අසාධ්‍ය තත්ත්වයකින් වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර සිටින බවද පොලිස් සැරයන්වරයා පවසා සිටියේය.

ඇය වතුපිටිවල මූලික රෝහලෙන් කොළඹ ජාතික රෝහලට යවා ඇති නමුත් එහිදී ඇයට සිහිය ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ආපසු වතුපිටිවල මූලික රෝහලටම එවා ඇති බවද පොලිස් සැරයන්වරයා සඳහන් කළේය.

පොලිසියේ කරුණු දැක්වීම්වලින් අනතුරුව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වතුපිටිවල මූලික රෝහලට ගොස් රෝගීව සිහිසන් නොමැතිව සිටින තරුණිය පරීක්ෂා කර බලා පැමිණ එසේ සැකකරු රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියෝග කළේය.

මෙම නඩුව නැවත කැඳවීම මේ මස 13 වනදාට කල් තැබිණ.

වේයන්ගොඩ විශේෂ කොටදෙණියාව සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT