නැගෙනහිර පළාතට තමා ස්ථාන මාරු කිරීමට ගත් තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ අජිත් රෝහණ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04) තීරණය කළේය.
එම පෙත්සමට එරෙහිව නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් මෙම පෙත්සම ඉවත දමන ලදි.
එස්. තුරෙයිරාජා, ඒ.එච්. එම්. ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල මෙම නියෝගය සිදු කළේය.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා සඳහන් කළේ පෙත්සම්කරු දකුණු පළාතට ස්ථාන මාරු කිරීම ගත් තීරණය අසාධාරණ බවය.
එකී ස්ථාන මාරුව අත්තනෝමතික බැවින් ඊට එරෙහි වූ පෙත්සම්කරු ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා අභියාචනයක් ඉදිරිපත් කළ බවත් ඒ අනුව බස්නාහිර පළාතේ ලේකම්වරයා විසින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කළ බවද ඔහු සඳහන් කළේය.
පරීක්ෂණය අවසානයේදී අදාළ ස්ථාන මාරුව සාධාරණ බව පවසමින් සහ එය ස්ථිර කිරීමට එම ලේකම්වරයා විසින් තීරණය කර ඇති අතර මෙම ක්‍රියාවලිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1), 14(1)g යන වගන්තිවලින් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීරණය කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එසේම පෙත්සම්කරු නැගෙනහිර පළාතට ස්ථාන මාරු කර යැවීමට පොලිස්පතිවරයා විසින් නිර්දේශ කර ඇති ලිපිය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
වගඋත්තරකාර පොලිස්පති, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගංගා වාකිෂ්ඨආරච්චි මහත්මිය කියා සිටියේ පෙත්සම්කාර අජිත් රෝහණ මහතාගේ ස්ථාන මාරුව නීත්‍යනුකූල ආකාරයෙන් සිදු කර තිබෙන බවය.
ඔහු සමඟ තවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු හයදෙනෙකු මාරු කර හැරීමට කටයුතු කළ බව කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඔවුන් කිසිවෙකු එම මාරුවීම අභියෝගයට ලක් කර නොමැති බව සඳහන් කළාය.
පෙත්සම්කරුගේ මාරුවීම පෙර පැවති සහ නව ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයින් විසින් ඒකමතිකව අනුමත කර තිබෙන බව ඇය සඳහන් කළාය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.
මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් පී.වී. ගුණතිලක, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ජාතික පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක සහ එහි සාමාජිකයන්, බස්නාහිර පළාතේ ලේකම් රෝහණ රාජපක්ෂ, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටියහ.
නීතිඥ සංජීව කලුආරච්චි මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥවරුන් වන ෆයිස් මුස්තාපා මහතා සමඟ ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සහ නීතිඥවරු වන ෆයිසා මාකාර් සහ මෙහෙරාන් කරීම් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියහ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගංගා වාකිෂ්ඨආරච්චි මහත්මිය වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියාය.
නෙල්කා මැදගෙදර