Home » සරසවියට, ජාතික අධ්‍යාපනයට ජ’පුර සරසවි ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය කරන්නේ මහ මෙහෙයක්: අධ්‍යාපනයේ විප්ලවීය හැරවුමක් වූ තාක්ෂණවේදයෙන් සරසවි වරම් ලබන පිරිස 5000කට වැඩියි

සරසවියට, ජාතික අධ්‍යාපනයට ජ’පුර සරසවි ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය කරන්නේ මහ මෙහෙයක්: අධ්‍යාපනයේ විප්ලවීය හැරවුමක් වූ තාක්ෂණවේදයෙන් සරසවි වරම් ලබන පිරිස 5000කට වැඩියි

-මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

by sachintha
September 5, 2023 5:07 am 0 comment

විශ්වවිද්‍යාලයට පමණක් නොව ජාතික අධ්‍යාපනයට ද විශාල මෙහෙවරක් ඉටුකිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආදී විද්‍යාර්ථීන්ගේ සංගමයට හැකියාව ලැබුණු බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලාංකීය නිදහස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට තාක්ෂණවේදය විෂය ධාරාව හඳුන්වාදීමට හැකියාව ලැබුණු බව පැවසූ ඇමැතිවරයා, එහි ප්‍රතිඵලයක් ලෙස තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, ජෛව පද්ධති තාක්ෂණය, තාක්ෂණය සඳහා විද්‍යාව වැනි විෂයයන් අලුතින් එකතු වූ බව ද ශ්‍රී ජයවර්ධනපුර ආදී විද්‍යාර්ථීන් නැති නම් එම විෂයන් පාසල් පද්ධතියට එක් නොවන බවද කීවේය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පසුගියදා (02) පැවැති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආදී විද්‍යාර්ථීන්ගේ මහා සභා රැස්වීම අමතමිනි.

එහිදී වැඩිදුරටත් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

Òහික්කඩුවේ සුමංගල, වැලිවිටියේ සෝරත හිමිවරුන් ආරම්භ කළ විද්‍යෝදය විශ්වවිද්‍යාලය බොහෝ දෙනෙකුට චින්තන ශක්තියක් දුන්නත් විශ්වවිද්‍යාලයෙන් පිටවීමෙන් පසුව ස්වකීය විද්‍යාර්ථියන් එක සංවිධානයක් ලෙස සංවිධානගතව සිටියේ නැහැ. ඒ නිසා ඒ කාලයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට මම, මහින්ද විජේසේකර, එස්.බී. දිසානායක මහත්වරුන් ඇතුළු විද්‍යාර්ථීන් දහස් ගණනක් රැස්වී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආදී විද්‍යාර්ථීන්ගේ සංගමය පිහිටුවා තිබෙනවා. ඒ අවස්ථාවේ පළමු සභාපතිවරයා වුණේ මහින්ද විජේසේකර මහතායි. පසුව ඒ මහතා ත්‍රස්තවාදී බෝම්බයකට හසුව තුවාල ලැබීමෙන් පසුව වැඩබලන සභාපතිවරයා වශයෙන් මම කටයුතු කළා. ඊට පසුව ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතාට එහි සභාපතිත්වය භාරදුන්නා. මේ කාලයේ ආදී විද්‍යාර්ථයින්ගේ සංසදය විශාල මෙහෙවරක් විශ්වවිද්‍යාලයටත් ජාතික අධ්‍යාපනයටත් ඉටු කර තිබෙනවා. ජයවර්ධනපුරට ඉංජිනේරු පීඨයක් තිබුණේ නැහැ.

අපි ආදී විද්‍යාර්ථීන් සහ එවකට විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමඟ එක්ව එවකට උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ නිවෙසට ගොස් සාකච්ඡා කර ඉංජිනේරු පීඨයක් ලබා ගත්තා. එයින් පසුව මම අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් තාක්ෂණවේදය විෂය ධාරාව රටට හඳුන්වාදීමෙන් පසු ඒ සිසුන්ට විශ්වවිද්‍යාලවල තාක්ෂණ පීඨ අවශ්‍ය වුණා. ඒ වනවිට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය හෝමාගම, පිටිපන ස්ථාපිත කළා. ඉංජිනේරු පීඨය මත්තේගොඩ ස්ථාපිත කළා. එයින් පසුව එස්.බී. දිසානායක මහතා ක්‍රීඩා ඇමැතිවරයා වශයෙන් විශාල ප්‍රමාණයේ පිහිනුම් තටාකයක් විශ්වවිද්‍යාලයට ලබා දුන්නා. මම වෙළෙඳ ඇමැතිවරයා වශයෙන් අරමුදල් යොදවා බණ්ඩාරනායක ශාලාව වෙනුවට විශාල ශ්‍රවණාගාරයක් වෙනුවෙන් රුපියල් මිලියන 300ක් මහපොළෙන් දෙන්න ලෑස්ති කර මුල්ගල තබන්න දින නියම කරගෙන සිටියා.

එවකට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළුව ශිෂ්‍ය සංගම් විශාල ලෙස එම විශ්වවිද්‍යාලයට පැමිණ මා මුල්ගල තබනවාට විරෝධය පළ කළා. ඒ නිසා මම ඒ ශිෂ්‍ය ව්‍යාපාරයේ එවකට සිටි නායකයන්ට සදාකාලික ණයගැතියි ඔවුන් මට කළ උදව්වට. මොකද මම ඒ මුදල රැගෙන ගොස් හෝමාගම කැලයේ ඉඩමක මහින්ද රාජපක්ෂ විද්‍යාලය ඉදිකළා. අද එහි දරුවන් 7000ක් ඉන්නවා. ගුරුවරු 300ක් ඉන්නවා. ගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් 763ක් පෙනී සිටියා. ඒ සියලු දෙනාම උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබුවා. එය දකුණු ආසියාවේ විශාලතම ද්විතියීක පාසල වෙනවා. මෙවන් වික්‍රමයක් කරන්න අවස්ථාව ලබා දුන්නේ මේ ශිෂ්‍ය සහෝදරයන්. ඒ නිසා මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ උපනූපන් පරම්පරාවල දරුවන්ට යම්කිසි සේවයක් සිදුවෙනවා නම් එහි ගෞරවයෙන් කොටසක් එදා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශ්‍රවණාගාරයේ මුල්ගල තැබීම සඳහා මට එන්න නොදුන් ශිෂ්‍ය පරම්පරාවටත් හිමිවෙනවා.

ආදී විද්‍යාර්ථ සංගමයේ ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකයන් වශයෙන් අපට විවිධ රජයන්වල විවිධ තනතුරු දරන්න හැකියාව ලැබුණා. ඒ අනුව මම අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් කටයුතු කළා. එස්.බී. දිසානායක මහතා උසස් අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් කටයුතු කළා. මගේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළේ ජයවර්ධනපුර ආදී විද්‍යාර්ථ අනුර දිසානායක මහතායි. එස්.බී. දිසානායක මහතාගේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළේ ආදී විද්‍යාර්ථ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතායි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන් වශයෙන් අපට පුළුවන්කම ලැබුණා ශ්‍රී ලාංකීය නිදහස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂ්‍යයක් හැටියටත් ලංකාවට තාක්ෂණවේදය විෂය ධාරාව හඳුන්වාදීමට. තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, ජෛව පද්ධති තාක්ෂණය, තාක්ෂණය සඳහා විද්‍යාව වැනි විෂයයන් ලංකාවේ ඇති වෙන්නේ නැහැ, ජයවර්ධනපුර ආදී විද්‍යාර්ථීන් නැතිනම්.

අද වනවිට මේ රටේ ඉතාම ජනප්‍රිය විෂය ධාරාව තාක්ෂණ විෂය ධාරාවයි. තාක්ෂණවේදය විෂයෙන් අද වනවිට ළමයින් 5000ට වැඩි පිරිසක් විශ්වවිද්‍යාලය සඳහා ඇතුළත් වෙනවා. එය විප්ලවීය හැරවුමක් වෙනවා. ඒ නිසා අධ්‍යාපනයේ හැරවුම නිදහස් අධ්‍යාපනයේ අද්‍යතන ලෝකයට ගැළපෙන ඉහළ ගුණාත්මක හැරවුමක් ලෙස පිළිගන්නවා. ඒ හැරුණු විට සිසුන්ගේ සුබසාධනයට හා ඔවුන්ගේ අභිවෘද්ධියට අදාළ වන ක්‍රියාකාරකම් රාශියක් ඉටු කරන්න ද ආදී විද්‍යාර්ථීන්ට හැකියාව ලැබී තිබෙනවා. අපි සියලු දෙනාම පශ්චාත් යුගයේ වැඩිහිටියන් වෙනවා. ඒ නිසා තරුණ ජවසම්පන්න නව නිලධාරී මණ්ඩලයකට ආදී විද්‍යාර්ථීන්ගේ සංගමය භාරදීමේ යුතුකමක් වගකීමක් තිබෙනවා. ඒ අනුව නව නිලධාරී මණ්ඩලයක් පත් කරගෙන තිබෙනවා. ඒ අයටත් අපි එදා වගේම අදත් හෙටත් සහාය දෙනවා. ජයවර්ධනපුර මෑණියන් ඉහළ වර්ධනීය තලයක් සඳහා ගෙන යන්න සහාය දෙනවාÓ යැයි පැවසීය.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT