Home » උණ සෑදී යාපනය රෝහලට ගිය දැරියගේ අතක් කපලා

උණ සෑදී යාපනය රෝහලට ගිය දැරියගේ අතක් කපලා

by sachintha
September 5, 2023 4:50 am 0 comment

උණ රෝගය හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අට හැවිරිදි දැරියකගේ අතක් එහි වෛද්‍යවරුන් විසින් ශල්‍යකර්මයක් මඟින් කපා ඉවත් කිරීමේ සිද්ධියක් ඊයේ (04) වාර්තා විය.

මෙම දැරියට දින හතරක පමණ කාලයක් උණ රෝගය තිබී ඇති අතර, පෞද්ගලික වෛද්‍යවරයෙකුගෙන් රෝගයට ප්‍රතිකාර ලබා ගත් නමුත් සුව නොවීම නිසා යාපනය ශික්ෂණ රෝහලට පෙරේදා (03)රාත්‍රියේදී දැරිය රැගෙනවිත් තිබේ.

දැරිය රෝහලට ඇතුළත් කර ගැනීමෙන් පසුව වාට්ටුව භාර හෙදිය දැරියගේ අතට කැනීයුලාවක් සවිකිරීමෙන් පසුව ක්‍රමයෙන් ඇගේ අත අකර්මණ්‍ය වන්නට පටන් ගෙන තිබේ.

වහාම මේ පිළිබඳව වෛද්‍යවරුන්ට තොරතුරු දැනුම් දීමෙන් පසුව දැරියගේ ජීවිතය බේරා ගැනීමට නම් වහාම ඇගේ අත ඉවත් කළ යුතු බවට විශේෂඥ වෛද්‍යවරු තීරණය කොට තිබේ. ඒ අනුව දැරියව ශල්‍යාගාරයට රැගෙන ගොස් අත ඉවත් කොට දැරියගේ ජීවිතය බේරා ගෙන තිබේ.

උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් මෙසේ අතක් අහිමි වී ඇත්තේ යාපනයේ මල්ලාකම් ප්‍රදේශයේ පදිංචි යාපනය හින්දු විද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන අට හැවිරිදි පාසල් ශිෂ්‍යාවකගේය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී. සත්‍යමූර්ති වෛද්‍යවරයා ප්‍රකාශ කළේ යාපනය ශික්ෂණ රෝහලේ එවැනි සිද්ධියක් සිදු වී ඇති බවයි.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT