Home » කිසිම හේතුවක් නිසා උසස් පෙළ කල් දමන්නේ නෑ

කිසිම හේතුවක් නිසා උසස් පෙළ කල් දමන්නේ නෑ

- විභාගය නොවැ.27 සිට දෙසැ.21 දක්වා

by sachintha
September 5, 2023 4:53 am 0 comment

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය – 2023 කිසිදු හේතුවක් නිසා කල් නොදමන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේය.

උසස් පෙළ 2023 විභාගය ඔක්තෝබර් මස පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබුණ ද, 2022 උසස් පෙළ සමීක්ෂණ කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් 2023 නොවැම්බර් 27 සිට දෙසැම්බර් 21 දක්වා අදාළ විභාගය පැවැත්වීමට නියමිත බවට පූර්ව දැනුම් දීමක් ජූලි 17 වැනිදා සිදු කළ බවත් ඒ අනුව විභාගය පවත්වන බවත් ඇමැතිවරයා පැවසීය.

උසස් පෙළ ප්‍රතිඵල සමීක්ෂණ කටයුතු සඳහා සාමාන්‍යයෙන් මාස 04ක පමණ කාලයක් ගත වන අතර මෙවර විභාගය පෙබරවාරි 17 වැනිදා අවසන් වුවද අදාළ පාර්ශ්ව සහභාගි නොවීම හේතුවෙන් එම කටයුතු ආරම්භ කිරීමට සිදු වූයේ මැයි 20 වැනිදා බවත් එදින සිට ඉතා කෙටි කාලයක් තුළ සමීක්ෂණ කටයුතු කඩිනම් කර ප්‍රතිඵල ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

2023 උසස් පෙළ විභාගයට ප්‍රථම වතාවට පෙනී සිටින සිසුන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේ 2021 මාර්තු වන අතර එහි ප්‍රතිඵල 2021 සැප්තැම්බර් මස නිකුත් විය. ඔවුන් උසස් පෙළ පන්තිවලට 2021 දෙසැම්බර් 20 වැනිදා වන විට ඇතුළත්ව ඇත. ඒ අනුව 2023 නොවැම්බර් 24 වන විට පාසල් දින 343ක් පවත්වා විෂය ආවරණ කටයුතු සිදු කිරීමේ හැකියාව ඇත.

දරුවන්ගේ වයස සලකා කඩිනමින් විභාගවලට පෙනී සිටීමට අවස්ථාව ලබා ගැනීම දෙමාපිය අපේක්ෂාව වන බවත් සිසුන්ටද හැකි ඉක්මණින් විභාගවලට පෙනී සිට ප්‍රතිඵල ලබා ගැනීම කාලීන අවශ්‍යතාවක් වී ඇති බවත් ඇමැතිවරයා කීය.

මේ වන විට 2023 උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවා ඇති අතර දැනට ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව 323,913 වේ. පෙර වර්ෂයේ දී එනම් 2022 වර්ෂයේ අයදුම්කරුවන් සංඛ්‍යාව 331,709කි.

ප්‍රතිඵල නිකුත් කළ පසු ද දෙවන හෝ තෙවන වතාවට පෙනී සිටින සිසුන්ට අයදුම් කිරීමට අවස්ථාව ලැබෙන බවත් මෙවර විභාග ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව යම් අපේක්ෂකයෙකුට නැවත විභාගයට පෙනී සිටීමට අවශ්‍ය නම් විභාග දෙපාර්තමේන්තුව මඟින් මාර්ගගත ක්‍රමයට අවස්ථාව ලබාදෙන බවත් ඇමැතිවරයා පැවසුවේය.

උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා පාසල් වාර 06ක් හිමි වන නමුත් මෙම සිසුන්ට නොවැම්බර් 24 දක්වා දින 343ක කාලයක් තුළ පාසල් වාර 07ක් ඉගෙනුම් කටයුතු සඳහා හිමි වී ඇත.

දැනට යෝජිත විභාග කාල සටහන හා වාර සටහන නැවත සංශෝධනයක් සිදු වුවහොත් අති බහුතරයක් වූ සිසුන් ප්‍රමාණයකට අසාධාරණයක් සිදු වන අතර එමඟින් සමස්ත සිසුන්ගේ මානව හිමිකම් කඩවන බවට දෙමාපියන්ගේ සහ සිසුන්ගේ අදහස වී ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරීමේ දී උසස් පෙළ පාසල් ශිෂ්‍යයන්ගේ පැමිණීම සියයට 80 සිට සියයට 40 දක්වා අඩු කර ඇති අතර පාසල්වලින් ලබා ගත් තොරතුරු අනුව විෂය නිර්දේශය ආවරණය වී ඇතැයි ද, 2023 උසස් පෙළ පන්තිවලට සිසුන්ගේ පැමිණීම දැනට අවම මට්ටමක පවතින්නේ යැයිද ඇමැතිවරයා පැවසුවේය.

වර්ෂ 2022 අග භාගයේ පැවති විදුලි අර්බුදය කෙටි කාලයක් තුළ අවසන් වූ අතර රටේ මතු වූ තත්ත්වය හා විවිධ ගැටලුකාරී තත්ත්ව මත වසා දැමූ පාසල් ආරම්භ කිරීමෙන් පසුව සිසුන්ගේ සාමාන්‍ය නිවාඩු කාලය ද අවම වන සේ උපරිම දින ගණනක් අධ්‍යාපන කටයුතුවල නියැළීමට ඉඩ ලැබෙන පරිදි පාසල් පැවැත්විය හැකි දින ගණන තීරණය කර ඒ අනුව කටයුතු කරන බවත් ඒ අනුව සිසුන්ට ගැටලුකාරී තත්ත්වයක් ඉස්මතු නොවන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT