Sunday, May 11, 2025
Home » ඩුබායි හිර වූ ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් අත්වැලක්

ඩුබායි හිර වූ ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් අත්වැලක්

by chanaka
September 5, 2023 2:55 pm 0 comment

ඩුබායි හි රැකියා සඳහා පිටත්ව ගොස්, ආපසු පැමිණීම සඳහා ගුවන් ටිකට් පතක් මිලදී ගැනීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 40 කට අධික පිරිසකට අත්වැලක් වීමට ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගියදා ඉදිරිපත් විය.

මෙම ශ්‍රී ලාංකිකයන්ට අවම වියදමකින් සුරක්ෂිත ලෙස නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය කටයුතු යෙදීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වනවිට ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සමග සමීපව කටයුතු කරමින් සිටී.

ඩුබායි නගරයේ රැඳී සිටින මෙම ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් මෙරටට රැගෙන ඒමට මේ වනවිට සැලසුම් කර තිබේ. මේ අතරින් පළමු කණ්ඩායම 2023 අගෝස්තු 23 වැනිදා UL 226 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණි අතර, නැවතත් තම ආදරණීයයන් සමග එක්වීමට ලැබීම ඔවුන්ට ඉමහත් සතුටක් සහ අස්වැසිල්ලක් විය.

“අප සිටියේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති අසරණ තත්ත්වයකයි. එහෙත් ශ්‍රීලංකන් ගුවන් සේවය සහ ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය අපට උපකාර කිරීමට ඉදිරිපත් වුණා. ඒ වෙනුවෙන් මා ඔවුන්ට බෙහෙවින් කෘතඥ වනවා. නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට හැකි වීම මට මහත් සතුටක්.” ශ්‍රී ලංකාවට පැමිණි පළමු කණ්ඩායමේ සාමාජිකයෙකු පැවසී ය.

ශ්‍රීලංකන් ගුවන් සේවය කවදත් මෙරට ජනතාව වෙනුවෙන් තම යුතුකම් නොපිරිහෙළා ඉටුකිරීමට ඉදිරිපත් වෙයි. විශේෂයෙන්ම පසුගිය කාලය තුළ උද්ගත වූ අර්බුදකාරී අවස්ථාවන් රැසකදී ශ්‍රීලංකන් ගුවන් සේවය ශ්‍රී ලාංකිකයන්ට තිබූ එකම විසඳුම බවට පත් විය. COVID-19 රෝග ව්‍යාප්තිය පැවති කාලසීමාවේදී, චීනයේ වූහාන් නගරය ඇතුළුව, ලොව පුරා සංචරණ සීමා පනවන ලද නගර රාශියක සිට ගුවන් ගමන් වාර 300 කට අධික සංඛ්‍යාවක් ඔස්සේ ශ්‍රී ලාංකිකයන් 70,000 කට අධික පිරිසක් මෙරටට රැගෙන ඒමට ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු කළේ ය. ඉදිරියේදීත් රටටත් රටවැසියන්ටත් අත්වැලක් හෝ සහනයක් අවශ්‍ය වන ඕනෑම මොහොතක ඒ සඳහා ඉදිරිපත් වීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සූදානමින් සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT